Wednesday, February 11, 2026
Follow Us
විරානගම මාළු වැස්ස

මහියංගණය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් අලුත්තරම ග්‍රාම නිලධාරී වසමේ පිහිටි විරානගම ගම්මානයට පෙරේදා (20 වැනිදා) උදෑසන සිට ඊයේ (21 වැනිදා) දක්වා මාළු වැස්සක් ඇද වැටී ඇතැයි ගම්වාසීහු පැවැසූහ.

ගෙවතු හා කුඹුරු කිහිපයකට මෙම මාළු වැස්ස ඇද හැලී ඇත. කිසිදා නොදැකපු මසුන් විශේෂයක් වැස්සත් සමග ඇද වැටී ඇති බව ගම්වාසීහු පැවැසූහ.

විශාල පිරිසක් පැමිණ වැස්සත් සමග ඇද හැළුණ මාළු එකතු කර බකට්වලින් රැගෙන ගිය බවත්, මසුන් ඇල්ලීමට තවමත් ගම්වාසීන් පැමිණෙන බවත් ඔවුහු කීවෝය. මාළු විශාල ප්‍රමාණයක් ප්‍රාණය සහිතව සිටින බැවින් එවැනි මාළු එකතු කර ජල ටැංකිවලට දමා ඇතැයිද එම මාළුන්ට උදරයේ වරල් තිබූ බවද ගම්වාසීහු පැවැසූහ.

මෙම මාළු විශේෂය ප්‍රදේශයේ වැව් හෝ ඇළ මාර්ගවල දැකීමට නොමැති බැවින් කුඹුරු ඉඩම්වලට කිට්ටුවකින් වැවක් නොමැති නිසා අහසින් වැටී ඇති මෙම මාළු පිළිබඳ ගම්වැසියෝ විශ්මය පළ කළහ.

(Aruna)