Wednesday, September 24, 2025
Follow Us
ධම්මික පැණිය තවම ජාතික පර්‌යේෂණ සභාවට ලැබී නැහැ

කොවිඩ් පාලනය කිරීම සඳහා රජය නිර්දේශ කර තිබූ කෑගල්ල ධම්මික බණ්ඩාර හඳුන්වා දුන් දේශීය ඖෂධයක් බව කියන ‘පැණිය’ ජාතික පර්යේෂණ සභාවට ලැබී නැතැයි එම සභාවේ සභාපති විශේෂඥ වෛද්‍ය මහාචාර්ය හේමන්ත දොඩම්පහළ පැවැසීය.

තවම කොවිඩ් මර්දනය කිරීමට මෙරටින් සොයාගත් නව ඖෂධ වර්ග 3 ක් පරීක්ෂණ කටයුතු සඳහා ජාතික පර්‌යේෂණ සභාව (NRC) වෙත භාරදෙන බවට කලින් සෞඛ්‍ය අමාත්‍යාංශය දැනුම් දී තිබුණත් පසුගිය 18 වැනිදා පැවැති ඒ සඳහා අනුමැතිය ලබාදීමේ හමුවට ඉදිරිපත් කර තිබුණේ ඖෂධ වර්ග 2 ක් පමණක් බවද මහාචාර්යවරයා කීය.

කෑගල්ලේ ධම්මික බණ්ඩාරගේ ‘පැණිය’ සම්බන්ධ යෝජනාව ඒ අතර නොවූ බව අප කළ විමසුමකදී විශේෂඥ වෛද්‍ය මහාචාර්ය හේමන්ත දොඩම්පහළ පැවැසීය.

කොවිඩ් වයිරසය පාලනය කිරීම සඳහා රජය හඳුනාගත් දේශීය ඖෂධ වර්ග මහජනයාට සුදුසුද? නැද්ද? යන්න පිළිබඳව පරීක්ෂා කර බැලීමත්, ඒ වෙනුවෙන් ඉදිරි පරීක්ෂණ කටයුතු වෙනුවෙන් අරමුදල් සැපයීමේ බලයත් පැවැරී ඇත්තේ ජාතික පර්‌යේෂණ සභාවටයි.

පසුගිය 18 වැනිදා පැවැති එම හමුවට ඉදිරිපත්ව තිබුණේ ආචාර්ය හර්ෂ සුබසිංහ සහ කොළඹ විශ්වවිද්‍යාලයේ උපාධිධාරී නෙරංග අබේසිංහ යන අයගේ දේශීය ඖෂධ වර්ග 2 ක යෝජනා පමණි. එම දේශීය ඖෂධයන්හි ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා අවශ්‍ය අනුමැතිය ලබාදුන් බව මහාචාර්ය හේමන්ත දොඩම්පහළ පවසයි.

(Aruna)