Wednesday, February 11, 2026
Follow Us
කොළඹ ජන ඝනත්වය වැඩි ප්‍රදේශ ඉලක්ක කර ඇන්ටිජන් පරීක්ෂණ

ඉදිරි දින දහය ඇතුළත කොළඹ දිස්ත්‍රික්කයේ ජන ඝනත්වය අධික ප්‍රදේශ ඉලක්ක කරගෙන ඇන්ටිජන් පරීක්ෂාව කිරීමට රජය උපදෙස් දී ඇත.

වයිරසය ව්‍යාප්ත වන්නට පෙර රෝගය ඇති තැන් සොයාගෙන යාමේ ක්‍රමවේදයක් ලෙස මෙය ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය හා ආරක්ෂක අංශවලට උපදෙස් දී තිබේ.

විශේෂයෙන්ම කොළඹ දිස්ත්‍රික්කයේ ජන ඝනත්වය වැඩි මහල් නිවාස ඇතුළු රෝගීන් වැඩි වශයෙන් වාර්තා වන ප්‍රදේශවල සම්පූර්ණ ඇන්ටිජන් පරීක්ෂාවන් කිරීමට කොවිඩ් පැතිරීම වැළැක්වීමේ ක්‍රියාන්විත මධ්‍යස්ථානය උපදෙස් දී ඇත.

කොළඹ දිස්ත්‍රික්කයෙන් පිටතට යන පුද්ගලයන් ඇන්ටිජන් පරීක්ෂාවකට ලක්කිරීමට රජය නිකුත් කර ඇති නියෝග මත එම පරීක්ෂාවන් පෙරේදා (19 වැනිදා) සිට ආරම්භ කර තිබිණි.

ඒ අනුව බස්නාහිර පළාතෙන් පිටවන අයට ඇන්ටිජන් පරීක්ෂාවන් 750 කින් එක් පුද්ගලයකු කොවිඩ් ආසාදිතයකු ලෙස හඳුනාගත් බව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවැසීය.

ඊයේ (20 වැනිදා) දිනයේ දෙහිඕවිට ප්‍රදේශයේදී ඇන්ටිජන් පරීක්ෂාවක් කර වව්නියාවේ සිට කොළඹ දක්වා ගමන් කළ මගියකු කොවිඩ් ආසාදිතයකු ලෙස හඳුනාගෙන ඇත. ඔහු තිරප්පනේ ප්‍රදේශයෙන් බස් රථයට නැග ඇත.

(Aruna)