Wednesday, September 24, 2025
Follow Us
තවත් ප්‍රදේශ දෙකක් හුදෙකලා කෙරේ : ඊයේ දිනයේදී කොවිඩ් ආසාදිතයින් 618ක් - මරණ 06ක්

ගාල්ල, ඉදුරුව ප්‍රදේශයේ තුන්දුව බටහිර සහ තුන්දුව නැගෙනහිර යන ග්‍රාම නිලධාරී වසම් දෙක වහාම ක්‍රියාත්මක වන පරිදි හුදෙකලා කිරීමට තීරණය කළ බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටිනවා.

පසුගිය 18 වෙනිදා සිදුකළ PCR පරීක්ෂණ වලින් එම ප්‍රදේශ වලදී කොවිඩ් ආසාදිතයින් 41ක් හමුවූ බව ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරීන් සඳහන් කර සිටියා. ඒ අනුව එම ග්‍රාම නිලධාරී වසම් දෙක හුදෙකලා කිරීමටයි තීරණය කර ඇත්තේ.

මේ අතර ඊයේ දිනයේදී වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 618ක් බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කර සිටිනවා.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 36,667ක් වන අතර සුවය ලබා ඇති පිරිස 27,552ක්. දැනට රෝහල් ගතව සිටින ආසාදිතයින් සංඛ්‍යාව 8,950ක්. මිනුවන්ගොඩ සහ පෑලියගොඩ ආශ්‍රිතව ව්‍යාප්ත වෙමින් පවතින කොවිඩ් පොකුරේ සමස්ත ආසාදිතයින් ගණන 32,998ක්.

මේ අතර ඊයේ දිනයේ කොවිඩ් ආසාදිත මරණ 06ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා නිවේදනය කර සිටිනවා. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 171ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.‬ වාර්තා වූ කොවිඩ් මරණ අතර කොළඹ 14 ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි කාන්තාවක් ද වනවා.‬

(Neth)