Wednesday, September 24, 2025
Follow Us
උත්සව සමයේ ගමේ යන සේවක සේවිකාවන්ට අහඹු PCR පරීක්ෂණ

උත්සව සමයේ ගම්බිම් බලා යන ආයෝජන කලාපවල සේවය කරන සේවක සේවිකාවන් සඳහා අහඹු පීසීආර් පරීක්ෂණ හා රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සිදු කිරීමට ගුවන් සේවා හා අපනයන කලාප සංවර්ධන අමාත්‍යාංශය සැලසුම් කර තිබේ.

එසේ උත්සව සමයේ ගම්බිම් බලා යන සේවක සේවිකාවන්ගේ තොරතුරු හා ඔවුන් ඒ කාලයේ දී රැඳී සිටින පොලිස් බල ප්‍රදේශයේ තොරතුරුද රැස් කිරීමට ආයෝජන මණ්ඩලය සැලසුම් කර ඇත.

කෙසේ වෙතත් පසුගිය කාලයේ පැමිණි කොවිඩ් තත්ත්වය හමුවේ නිසි නිෂ්පාදන ධාරිතාව පවත්වාගෙන යෑමට නොහැකි වූ කර්මාන්ත ශාලාවලට ලැබුණු ඇනවුම් සේවකසේවිකාවන්ගේ එකඟත්වය මත වසර අවසාන නිවාඩු සමය තුළ දී පවත්වාගෙන යෑමට අවශ්‍ය උපදෙස් රාජ්‍ය අමාත්‍ය ඩී.වී. චානක විසින් ආයෝජන මණ්ඩලයේ සභාපති සංජය මොහොට්ටාලට ලබා දී ඇත.

ආයෝජන මණ්ඩලය යටතේ ඇති ආයෝජන කලාප 14න් කලාප හතක්ම බස්නාහිර පළාතේ පිහිටා ඇති අතර එහි කර්මාන්ත ශාලා 212ක එක්ලක්ෂ දෙදහසකට වැඩි සේවක සංඛ්‍යාවක් සේවය කරති. ඉන් ද ආයෝජන කලාප පහක පිහිටි කර්මාන්ත ශාලා 164ක සේවක සේවිකාවන් හැත්තෑ පන්දහසක් සේවය කරන අතර එයින් වැඩි පිරිසක් වෙනත් පළාත්වල සිට සේවයට පැමිණි පිරිස් වෙති.

(Aruna)