Wednesday, September 24, 2025
Follow Us
ආසනික් අඩංගු ටින් මාලු නැවත චීනයට

මනුෂ්‍ය පරිභෝජනයට නුසුදුසු ආසනික් අඩංගුව තිබු ටින් මාලු බහාලුම් තොගයක්, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ විමර්ශන වලින් අනතුරුව ශ්‍රී ලංකා රේගුවේ පාරිභෝගික ආර්ක්ෂණ අංශයේ නිලධාරීන් විසින් යළි චීනය වෙත ප්‍රති අපනයනය කිරීමට අද (17) පියවර ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක, අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සුනිල් ජයරත්න මහතා ප්‍රකාශ කළේය .

ඉකුත් ජූලි සහ ඔක්තෝබර් මාස අතර රුපියල් තුන් කෝටි අසූ හතර ලක්ෂයක් වටිනා මෙට්‍රික් ටොන් 768 ක් බර ටින් මාලු අඩංගු බහාලුම් 48 ක් චීනයෙන් කොළඹ වරාය වෙත ගෙන්වා තිබුණි.

එම ටින් මාලුවල, “අඩංගු විය යුතු ආසනික් ප්‍රතිශතය” නියමිත ප්‍රමාණය ඉක්මවා පවතින බව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය සිදුකළ විමර්ශන වලදී අනාවරණය වී තිබේ.

විශේෂයෙන් එම තොගය SLS 591- 2014 ප්‍රමිතියට අනුකූල නොවන බව එම විමර්ශනවලදී සොයාගෙන තිබුණි. ඒ අනුව මෙම ටින් මාලු තොගය අඩංගු බහාලුම් ශ්‍රී ලංකා රේගුවේ පාරිභෝගික ආරක්ෂ්ණ අංශය වෙත යොමු කිරීමට පියවර ගත්තේය.

ඒ අනුව මෙම ටින් මාලු බහාලුම් යළි චීනයට ප්‍රති අපනයනය කිරීමට රේගු විමර්ශන වලදී තීරණය කර තිබූ අතර මෙම බහාලුම් තොගයෙන් බහාලුම් 02ක් චීනය වෙත කොළඹ වරායෙන් ප්‍රති අපනයනය කර තිබේ.

(Lanka Leads)