කොරෝනා වෛරසය ආසාදනය වී වැලිකඩ බන්ධනාගාර රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටි හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන කොළඹ අයි ඞී එච් රෝහලට මාරු කර තිබෙනවා. මරණ දඬුවම නියම වීමෙන් පසු ඔහු රඳවා සිටියේ වැලිකඩ බන්ධනාගාරයේයි. හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධනට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු කර ගැනීමත් සමඟ ඔහු ප‍්‍රතිකාර සඳහා වැලිකඩ බන්ධනාගාර රෝහල වෙත යොමු කෙරුණු බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ.
හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන රඳවා සිටියේ වැලිකඩ බන්ධනාගාරයේ රජත අංශයේ H වාට්ටුවේයි. එහි සිටි සිරකරුවන් සංඛ්‍යාව 101 ක්. ඉන් 10 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති අතර හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන ද ඒ අතරට අයත්.
හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන, ඔහුගේ පුත් රවිදු වාස් ගුණවර්ධන ඇතුලූ 6 දෙනෙකුට මීට පෙර මරණ දඬුවම නියම වී තිබුණේ 2013 වසරේදී කෝටිපති ව්‍යාපාරිකයකු වු මොහොමඞ් සියාම් පැහැරගෙන ගොස් ඝාතනය කිරීම සම්බන්ධයෙන්.
මේ අතර මහර බන්ධනාගාරයේ රදවා සිටියදී කොරෝනා වෛරසය ආසාදනය වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර ද ප‍්‍රතිකාර සඳහා මීට පෙර ඇතුළත් කෙරුණේ අයි ඞී එච් රෝහලටයි.
(Neth)