Wednesday, September 24, 2025
Follow Us
උත්සව සමයේ ලොක්ඩවුන් වෙනවද නැද්ද ? වැඩි වගකීම ජනතාව සතුයි

එළඹෙන උත්සව සමයේදී පවා හුදෙකලා කිරීම් හෝ සංචරණ සීමා යටතේ තවදුරටත් ජීවත් වන්නේදැයි තීරණය කිරීමේ වැඩි වගකීම ජනතාව සතු බව යුද්ධ හමුදාපති ලූතිතන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා. නත්තල් සමය ඉලක්ක කර ගනිමින් ලබන 21 වනදායි ආරම්භ වන සතියේදී මීගමුව ප‍්‍රමුඛ ගම්පහ දිස්ත‍්‍රික්කයේ මෙන්ම ජනතාව වැඩි වශයෙන් ගැවසෙතැයි අපේක්ෂිත ප‍්‍රදේශ වල හුදෙකලා කිරීමක් හෝ ඇඳීරි නීතිය පැනවීමක් සිදු කරනු ඇතැයි ඉකුත් දින වල වාර්තා පල වුණා.

කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් කල විමසීමකදී යුද්ධ හමුදාපති ලූතිතන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා නෙත් නිවුස් වෙත ඊයේ ප‍්‍රකාශ කලේ එවැනි කිසිදු තීරණයක් මෙතෙක් ගෙන නොමැති බවයි.

එහෙත් දෛනිකව සිදු කෙරෙන පීසීආර් හා ඇන්ටිජන් පරීක්ෂණ වල ප‍්‍රථිපල මත මෙම තීරණ වෙනස් විය හැකි බවයි යුද්ධ හමුදාපති ලූතිතන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සිහිපත් කලේ. එබැවින් ජනතාව තම වගකීම නිසි පරිදි ඉටු කර එළඹෙන උත්සව සමයේදී දැනට පනවා ඇති හුදෙකලා කිරීම් හෝ සංචරණ සීමා ඉවත් කර ගැනීමට දායක වනු ඇති බව නෙත් නිවුස් කල විමසීමකට ප‍්‍රතිචාර දක්වමින් යුද්ධ හමුදාපතිවරයා තවදුටත් සඳහන් කලා.

පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ද සඳහන් කලේ ඉකුත් දීපවාලි සමයේදී නිරෝධායන රීති කඩ කල ඇතැම් පිරිස් හේතුවෙන් වතුකරයේ ගැටළුකාරී තත්ත්වයක් මතු වූ බවයි. එවැනි තත්ත්වයක් එළඹෙන උත්සව සමයේදී සිදු නොවීමට ජනතාව කටයුතු කල යුතු බවද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා සඳහන් කලා.

මේ අතර, සති අන්තයේ බස්නාහිර පළාතෙන් සෙසු පළාත් වෙත සිදු කරන සංචරණ හැකි තරම් සීමා කරන්නැයි පොලීසිය ජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටීයා. පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ, අත්‍යවශ්‍යම කරුණකට හැර නිවෙස්වලින් බැහැරව යාම ද සීමා කරන ලෙසයි.

(Neth)