Wednesday, September 24, 2025
Follow Us
මාස එකහමාරකට පසු පෑලියගොඩ මත්ස්‍ය වෙළඳසැලත් විවෘත කිරීමට සැලසුම්

කොරෝනා දෙවන රැල්ල ආරම්භවීමත් සමග තාවකාලිකව වසා දැමුණු පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණය ලබන අගහරුවාදා සිට යළි විවෘත කිරීම කෙරෙහි අවධානය යොමුව තිබෙනවා. පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංගමයේ ප‍්‍රකාශකයෙකු සඳහන් කළේ තොග වෙළඳාම සඳහා පමණක් පළමුව වෙළඳ සංකීර්ණය විවෘත වන බවයි.

කෙසේවෙතත්, මත්ස්‍ය වෙළඳ සංකීර්ණය විවෘත කිරීමේදී ප‍්‍රමුඛතාව ලබාදී ඇත්තේ එහි අලූත්වැඩියා කටයුතුවලටයි. ඒ අනුව වෙළඳ සංකීර්ණය තුළ ඇති වෙළඳසැල්වලින් පරිබාහිරව, පිටත ඇති වෙළඳසැල් මුල්කර ගනිමින් තොග වෙළඳාම සිදුකිරීමටයි සැලසුම් කර ඇත්තේ. මීට පෙර මත්ස්‍ය අලෙවි කටයුතු සිදුකළ ව්‍යාපාරිකයින්ගෙන් සියයට 50 ක් දිනක් තුළ එක්කර ගන්නා
ලෙසට සෞඛ්‍ය බලධාරීන් උපදෙස් දුන් බව පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංගමය පවසනවා.

ඒ අනුව මත්ස්‍ය වෙළඳ සංකීර්ණය තුළ ව්‍යාපාරික කටයුතු සිදුකරන තොග ව්‍යාපාරිකයින් 154 දෙනාගෙන් හරි අඩක් එක් දිනකදීද, අනෙක් පිිරිස ඊළග දිනයේදී ද, වශයෙන් දිනයක් හැර දිනයක් මත්ස්‍ය අලෙවි කටයුතු සිදුකිරීමටයි සැලසුම් කර ඇත්තේ. පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණය යළි විවෘත කිරීමට අවශ්‍ය මූලික කටයුතු මේවනවිටත් සිදුකර අවසන් බව පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංගමය පැවසුවා. කොරෝනා දෙවන රැල්ල ආරම්භවීමත් සමග පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණය තාවකාලිකව වසා දැමුණේ ඔක්තෝම්බර් 21 වනදායි.

මේ අතර පෑලියගොඩ නව මැනිං වෙළඳපලේ කටයුතු හෙට සිට ආරම්භ වනවා. හෙට පස්වරු 04 ට ආරම්භ වන්නේ තොග වෙළඳාම් කටයුතු පමණක් බවයි මැනිං පොදු වෙළඳ සංගමයේ සභාපති ලාල් හෙට්ටිගේ නෙත් නිවුස් වෙත කියා සිටියේ.

(Neth)