අද සහ හෙට දුම්රිය කිහිපයක් ධාවනයට එක් කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ප‍්‍රධාන දුම්රිය මාර්ගය හා මුහුදුබඩ දුම්රිය මාර්ගය ද ඇතුලූ සියලූ දුම්රිය මාර්ග ආවරණය වන පරිදි දුම්රිය ධාවන කටයුතු සිදු කෙරෙන බවයි. ලබන සඳුදා දිනයේ සිට සියලූ කාර්යාල දුම්රියන් ධාවනය සඳහා යෙදවීමට පියවර ගන්නා බව ද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.
සති අන්තයේදී සීමිත දුම්රිය ප‍්‍රමාණයක් ධාවනය කිරීම සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කර ඇති අතර, මහනුවර, රඹුක්කන, පොල්ගහවෙල සහ උතුරු මාර්ගයේ මහව සිට එක් දුම්රිය බැගින්ද, පුත්තලම මාර්ගයේ හලාවත සිට දුම්රිය දෙකක්, කැලණිවැලි මාර්ගයේ අවිස්සාවේල්ල සිට එක් දුම්රියක් හා මුහුදුබඩ මාර්ගයේ ගාල්ල සිට තවත් දුම්රියක් ලෙස ධාවනය කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කර ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළා. පස්වරුවේදී එම දුම්රිය නැවත අදාළ ගමනාන්ත වෙත යොමුකිරීමට ද නියමිතයි.
(Neth)