Wednesday, September 24, 2025
Follow Us
කළුතර දැඩි අවදානම් කලාපයක් වේවිද?

බණ්ඩාරගම අටලුගම ප්‍රදේශයේ ජීවත් වන විසි දහසෙන් තුනෙන් දෙකකට පමණ මේ වන විට කොවිඩ් ආසාදනය වී ඇති බවට දැනට සිදු කර ඇති පී.සී.ආර්. පරීක්ෂණවලින් තහවුරු වී ඇතැයි බණ්ඩාරගම මැදගම පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක එස්.යූ. මධුෂාන් පැවසීය.

එහි ජීවත් වන විසි දහසෙන් පී.සී.ආර්. පරීක්ෂණසඳහා සහභාගිවී ඇත්තේ පුද්ගලයන් 1541 (8ර්‍% ) වන අතර ඉන් 547 ( 35%) දෙනකුට කොවිඩ් 19 ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.

පී.සී.ආර්. පරීක්ෂණ සඳහා සහභාගි වීම මග හැරීම නිසා පසුගිය බ්‍රහස්පතින්දා යුද හමුදාව ද මැදිහත්ව පුද්ගලයින් ඒ සඳහා යොමු කිරීමට ගත් උත්සාහයද ව්‍යර්ත වී ඇත. ඒ අනුව එම ප්‍රදේශයේ තවත් පුද්ගලයන් 18459 දෙනකුගේ පී.සී.ආර්. පරීක්ෂණ සිදු කිරීමට ඇති බවත් ඔවුන් ඒ සඳහා සහභාගි කරවා ගැනීමට දැඩි වෙහෙසක් දැරීමට සිදුවන බවත් හෙතෙම කීවේය.

පසුගිය 10 වැනිදා අටලුගම ප්‍රදේශයේ පී.සී.ආර්. පරීක්ෂණ කිරීම සඳහා හාරසිය දෙනකු කැඳවා තිබුණද ඒ සඳහා පැමිණ ඇත්තේ පනස් දෙනකු පමණයි.

ඊට අමතරව පසුගිය 02 වැනිදා එම ප්‍රදේශයේ ආසාදිත පුද්ගලයකු රැගෙන ඒමට ගිය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයකුට එම ආසාදිත පුද්ගලයා විසින් කෙළ ගැසීමේ සිද්ධියක් ද වාර්තා විය.

එම නිසා මෙම තත්ත්වය දිගින් දිගටම පැවැතියහොත් කළුතර දිස්ත්‍රික්කයේ දැඩි අවදානම් කලාපයක් විය හැකි බවද පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක වැඩිදුරටත් පැවසීය.

(Aruna)