Wednesday, February 11, 2026
Follow Us
කොරෝනා මරණ සංඛ්‍යාව 144 දක්වා ඉහළ යයි

මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව මේවනවිට 30,000 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා. ඒ, ඊයේ දිනයේදී මෙරටින් තවත් කොරෝනා ආසාදිතයින් 694 දෙනෙකු හඳුනා ගැනීමත් සමගයි. එලෙස හඳුනා ගැනුණු කොරෝනා ආසාදිතයින් සියලූදෙනා පෑලියගොඩ කොරෝනා පොකුරට සහ බන්ධනාගාර කොරෝනා පොකුරට අයත්.

ඒ අනුව මේවනවිට මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 30,072 දෙදෙනෙකු වනවා. ආසාදිතයින් 21,800 දෙනෙකු පූර්ණ සුවය ලබා මේවනවිටත් රෝහල්වලින් පිටව ගොස් අවසන්. කෙසේවෙතත්, ආසාදිතයින් 8,128 දෙනෙකු රෝහල්ගතව තවදුරටත් ප‍්‍රතිකාර ලබමින් සිටිනවා.

මේ අතර මෙරටින් වාර්තා වන කොරෝනා මරණ සංඛ්‍යාව 144 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ, ඊයේ දිනයේදී මෙරටින් තවත් කොරෝනා මරණ 02 ක් වාර්තාවීමත් සමගයි. එලෙස වාර්තා වූ මරණ 02 ක අතරට ඉකුත් අගහරුවාදා කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේදී කෝවිඞ් ආසාදිතව මියගිය දින 20 ක් වයසැතිව සිටි බිළිඳාගේ මරණය ද අයත්. ලේ විෂවීම, බහු ඉන්ද්‍රීය අකී‍්‍රයවීම සහ කොවිඞ් නියුමෝනියා තත්ත්වය හේතුවෙන් එම බිළිඳා මියගිය බවයි රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසුවේ.

මේ අතර කොළඹ 10 ප‍්‍රදේශයේ පදිංචිව සිටි 62 හැවිරිදි වියේ පසුවූ පිරිමි පුද්ගලයෙකු ද කොරෝනා ආසාදිතව මියගොස් තිබෙනවා.

කොළඹ පෞද්ගලික රෝහලක සිට මුල්ලේරියාව මූලික රෝහල වෙත මාරුකර එවා තිබූ එම පුද්ගලයා ඊයේ දිනයේදී මියගොස් ඇති බවයි රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසුවේ. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඞ් නියුමෝනියා තත්ත්වයයි.

(Neth)