Wednesday, September 24, 2025
Follow Us
පොලිස්පති ඇතුළු කාර්ය මණ්ඩලය නිරෝධායනයට

පොලිස්පතිවරයාගේ කාර්ය මණ්ඩල සාමාජිකයකුට කොවිඩ් ආසාදනය වීමත් සමග පොලිස්පති චන්දන වික්‍රමරත්න ඇතුළු කාර්යමණ්ඩලය පෙරේදා (07 වැනිදා) සිට ස්වයං නිරෝධායනයට යොමුකර ඇත.

මේ හේතුව නිසා පොලිස්පතිවරයා ඊයේ (08 වැනිදා) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පැවැති ජාතික ආරක්ෂක කවුන්සිලයටද සහභාගි නොවූ බව ඉහළ පෙළේ ආරංචිමාර්ග තහවුරු කරයි.

පොලිස්පතිවරයාගේ රියැදුරුට කොවිඩ් වැලඳීමත් සමග පෙරේදා (07 වැනිදා) සිට පොලිස්පතිවරයා ඇතුළු පොලිස් මූලස්ථානයේ තුන් වැනි මහලේ වූ පොලිස්පති කාර්යාලයේ නිලධාරීන් ආරක්ෂිත පියවරක් ලෙස මෙලෙස ස්වයං නිරෝධායනයට යොමුකර ඇත.

මූලස්ථානයේ අනෙකුත් අංශවල නිලධාරීන්ට පොලිස්පති කාර්යාලයට යාමද පෙරේදා (07 වැනිදා) සිටම සීමා කර තිබුණු බව පොලිස් මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් අනාවරණය කළේය. මේ සමග පොලිස් මූලස්ථානය සම්පූර්ණයෙන්ම විෂබීජහරණය කර දුරස්ථ ලෙස සේවය කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇත. මේ අතර පොලිස්පතිවරයා යටතේ ඇති බුද්ධි අංශය වන පොලිස් විශේෂ කාර්යාංශයේ මලලසේකර මාවතෙන් කොවිඩ් ආසාදිතයකු වාර්තා වීමත් සමග එහි නිලධාරීන්ද ස්වයං නිරෝධායනයට යොමුකර තිබිණි.

(Aruna)