Wednesday, September 24, 2025
Follow Us
රිජ්වේ රෝහලේදී දින 20ක් වයසැති බිලිඳෙක් ජිවිතක්ෂයට : PCR පරීක්ෂණයෙන් කොවිඩ් ආසාදනය වී ඇතැයි තහවුරු වෙයි

කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට අද අළුයම් කාලයේදී ඇතුලත් කරනු ලැබූ දින 20ක් පමණ වයසැති බිලිඳෙකු අද සවස ජිවිතක්ෂයට පත්ව තිබෙන බව එම රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය ජී. විජේසුරිය ප්‍රකාශ කර සිටිනවා.

අද අළුයම 4.00 ට පමණ මෙම බිලිඳා රිජ්වේ ළමා රෝහලට ඇතුලත් කරනු ලබන අවස්ථාවේදී තදබල නියුමෝනියා තත්ත්වයෙන් සිට ඇති බවත් සිදුකළ PCR පරීක්ෂණයේ දී ඔහු කොවිඩ් -19 වෛරසය ආසාදනය වී සිට ඇති බවට ද තහවුරු වූ බවයි රෝහල් අධ්‍යක්ෂකවරයා සඳහන් කළේ.

කෙසේ වුවත් මෙම බිලිඳාගේ දෙමව්පියන් කොවිඩ් ආසාදිතයින් නොවන බවට ද සිදුකළ පරීක්ෂණ මගින් හෙළිවී තිබෙනවා.

මෙම බිලිඳාගේ මරණයට සෘජු හේතුව ඔහුට කොවිඩ් වෛරසය ආසාදනය වීම නොවන බවත් පැවති තදබල නියුමෝනියා තත්ත්වය හේතුවෙන් මරණය සිදුවන්නට ඇති බවයි රෝහල් අධ්‍යක්ෂකවරයා සඳහන් කළේ.

මියගිය මෙම බිලිඳා කොළඹ, මෝදර ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි රෝහල් අධ්‍යක්ෂකවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

(Neth)