කොම්පඤ්ඤවීදිය දුම්රිය ස්ථානාධිපතිවරයාට කොවිඩ් 19 වයිරසය ආසාදනය වීමත් සමග එහි සියලු කාර්ය මණ්ඩලය ස්වයං නිරෝධායනයට ලක් කිරීමට පියවර ගෙන තිබේ.
එම දුම්රිය ස්ථානාධිපතිවරයාට කොවිඩ් ආසාදනය වී ඇති බවට පසුගිය පළමුවැනිදා රාත්‍රියේ අනාවරණය වීමත් සමග එහි සේවකයන්ද මෙසේ ස්වයං නිරෝධායනයට ලක් කළ අතර මේ වන විට එම දුම්රිය ස්ථානය කාර්ය මණ්ඩලයක් රහිත දුම්රිය ස්ථානයක් බවට පත්ව තිබේ.
මේ හේතුවෙන් දුම්රිය ස්ථානයෙන් මගී ප්‍රවේශපත්‍ර නිකුත් කිරීමක් හෝ ප්‍රවේශ පත්‍ර පරීක්ෂා කිරීමක් සිදු නොවන බවත් එම දුම්රිය ස්ථානයෙන් දුම්රියට ගොඩවන මගීන්ට ප්‍රවේශපත්‍ර නොමැති වුවත් දඩ නියම නොකරන ලෙසට වෙනත් දුම්රිය ස්ථාන වෙත දන්වා තිබෙන බවද දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
කෙසේ වුවත් දුම්රිය පාලනාධිකාරිය විසින් දුම්රිය ස්ථානය අවට දුම්රිය ගේට්ටු තුන සඳහා ගේට්ටු ආරක්ෂකයින් ආදේශක රාජකාරි සඳහා යොදවා ඇතැයිද හෙතෙම කීවේය. දුම්රිය සාමාන්‍යාධිකාරීවරයාගේත් පාලනාධිකාරියෙත් නොසලකා හැරීම් නිසා දුම්රිය කොවිඩ් පොකුරක් නිර්මාණය වී තිබෙන බවත් මෙය දුම්රිය මගීන්ගේත් දුම්රිය සේවකයින්ගේත් ජීවිත අනතුරේ වැටීමට හේතු වී ඇති බවත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වන දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ ලේකම් කසුන් චාමර පවසයි.
දුම්රිය භාවිතා කරන මගීන්ගේ තොරතුරු රැස්කිරීම හා නියමිත පරිදි ආසන වෙන් කිරීමේ ක්‍රමවේදයක් දුම්රිය පාලනාධිකාරිය මේතාක් සකස් කර නැති බවත් කොම්පඤ්ඤවීදිය දුම්රිය ස්ථානාධිපතිවරයාට වයිරසය ආසාදනය වූයේද ඒ නිසාවෙන් බවත් හෙතෙම තවදුරටත් පැවසීය. දුම්රිය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ගමනාගමන) පැවසුවේ එම දුම්රිය ස්ථානයේ වැඩ බැලීම සඳහා තාවකාලික කාර්යමණ්ඩලයක් පත් කළ යුතුව ඇතත් ඒ සඳහා කිසිවකු ඉදිරිපත් නොවන බවය. රේල් ගේට්ටු ආරක්ෂකයන් පමණක් තාවකාලිකව පත්කර ඇති බවද හෙතෙම කීය.
දුම්රිය ස්ථානය ස්ථානාධිපතිවරයකු හෝ කාර්යමණ්ඩලයක් නොමැතිව විවෘතව පවතින බවත් මෙහි ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම් සිදුනොවන බවත් එම දුම්රිය සථානයෙන් දුම්රියට ගොඩ වී ඊළඟ දුම්රිය ස්ථානයෙන් එම ප්‍රවේශපත්‍රය මිලදී ගැනීමට අවස්ථාව සලසා ඇති බවත් හෙතෙම කීය.
මෙය ඉතාමත් අඩු දෛනික ආදායමක් ලැබෙන මෙම දුම්රිය ස්ථානයක් බවද කීය.
මරදාන දුම්රිය ස්ථානාධිපතිවරයකුගේ (මෙහෙයුම්) සහායකයකුට කොවිඩ් වයිරසය ආසාදනය වී ඇති බව තහවුරු වීමෙන් පසු එහි ස්ථානාධිපතිවරුන් හා සහායකයින් පිරිසක් ස්වයං නිරෝධායනයට ලක් කර ඇත.
(Aruna)