Thursday, February 12, 2026
Follow Us
කොවිඩ් වැලඳී මියගිය අයට වන්දි ඉල්ලයි

කොවිඩ් වැලඳීමෙන් මියගිය විගමණික ශ්‍රමිකයින් 24 දෙනකුගේ යැපෙන්නන් විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් රුපියල් මිලියන 12ක් වන්දි ඉල්ලා ඇතැයි කම්කරු ඇමැති නිමල් සිරිපාල ද සිල්වා ඊයේ (19 වැනිදා) පාර්ලිමේන්තුවේ දී පැවසුවේය.

ඉන් රුපියල් ලක්ෂ 30ක් වටිනා චෙක්පත් හයක් ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව විසින් මේ වන විටත් කාර්යාංශයට එවා ඇතැයිද ඇමැතිවරයා කීවේය.

කාර්යාංශයේ ලියාපදිංචි විදෙස්ගත වූ ශ්‍රමිකයන්ට කොවිඩ් වැලඳීම නිසා මෙරටට පැමිණීමට සිදුවුවහොත් ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව මගින් වන්දි ගෙවීමට අදාළ පූර්ණ සහාය ලබා දෙන බවද ඇමැතිවරයා කීවේය.

මේ වන විට වෛද්‍ය ප්‍රතිකාර සහ ගුවන් ප්‍රවේශපත්‍ර ඉල්ලීම් 102ක් අතුරින් රක්ෂණ සංස්ථාව මගින් මුදල් අනුමත කර කාර්යාංශයට චෙක්පත් 49ක් එවා ඇත. ඒවායේ වටිනාකම රුපියල් විසිතුන් ලක්ෂ අසූ අටදහසකි.

මියගොස් ඇති ශ්‍රමිකයින් 68 දෙනාගෙන් 23 දෙනකු වෙනුවෙන් ආගමික කටයුතු කිරීම සඳහා රුපියල් හතලිස් දහස බැගින් රුපියල් නව ලක්ෂ විසිදහසක ආධාර මුදලක් ලබා දී ඇත.

කොවිඩ් නිසා යළි මෙරටට පැමිණි විගමණික ශ්‍රමිකයෝ 2163ක් යළි විදේශගත වීමට කැමැත්තෙන් සිටිති. පුද්ගලයෝ 1617ක් මෙරට රැකියා කිරීමට බලාපොරොත්තු වෙති. එමෙන්ම තවත් 654 දෙනකු ස්වයං රුකියා කිරීමටද, 64 දෙනකු වැඩි දුර පුහුණුව ලැබීමට ද සූදානමින් ඇත, යනුවෙන් ඇමැතිවරයා වැඩිදුරටත් කරුණු දක්වා සිටියේය.

බදුල්ල දිස්ත්‍රික් (සජබ) මන්ත්‍රී චමින්ද විජේසිරි ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව කීවේය.

(Aruna)