කොළඹ මහ නගරසභා සීමාවෙහි පවතින කොරෝනා අවදානම් තත්වය අනුව එම ප්‍රදේශයෙහි සංචරණ සීමාවන් පිළිබඳව බලධාරීන් කඩිනමින් තීන්දුවක් ගත යුතු අතර කොළඹ පවතින කොරෝනා අවදානමේ තත්වය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය ද තමන්ගේ නිර්දේශය රටට ඉදිරිපත් කළ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පවසයි.
"අපි මේ වෙනකොට රටක් විදියට තීරණය කරලා තියෙන්නෙ අවදානමට සරිලන ප්‍රතිචාර දක්වමින් ඉදිරියට යන්න. ඒ අනුව තමයි කොළඹ තිබිච්ච හුදෙකලා ප්‍රදේශවලට අමතරව තවත් ප්‍රදේශ කිහිපයක් හුදෙකලා කරන්න තීරණය කළේ.
විශේෂයෙන්ම කොළඹ නගරාධිපතිනිය කරපු ප්‍රකාශය, සෞඛ්‍ය අමාත්‍යාංශයේ මහජන සෞඛ්‍ය පිළිබඳ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා කොළඹ තියෙන පෘෂ්ඨ ආශ්‍රිතව මේ රෝගය ව්‍යාප්ත වීමේ හැකියාව ගැන කරපු ප්‍රකාශය, මේ සියල්ල සැලකිල්ලට ගත්තාම කොළඹ මේ මොහොතේ මතුවෙලා තියෙන අවදානම පැහැදිලියි. සංඛ්‍යාත්මකව ගත්තොත් මීට කලින් ඉදිරිපත් කරපු දත්ත බැලුවාම අතිවිශාල රෝගීන් ප්‍රමාණයක් කොළඹ නගරසභා සීමාව ඇතුළෙන් වාර්තා වෙමින් තියෙනවා. ඊයෙ දවස තුළ වාර්තා වෙච්ච රෝගීන් 400ට අඩු සංඛ්‍යාව ගත්තත් දිස්ත්‍රික්ක 10කින් ඒ ගාණ වාර්තා වෙලා තියෙන්නෙ. ඒකෙනුත් කොළඹ ගම්පහ කළුතර තමයි වැඩි. එතනිනුත් කොළඹ තමයි මේ වෙනකොට වැඩියෙන්ම අවදානම කේන්ද්‍රගත වෙලා තියෙන්නෙ.
ඒ නිසා කොළඹ මහනගර සභා සීමාව කළමනාකරණය කරගැනීම ගැන විශෙෂ අවධානයක් යොමුකළ යුතුයි. මොකද මේක අනිත් දිස්ත්‍රික්කවලට ව්‍යාප්ත වීම සඳහා ලොකු තර්ජනයක් තියෙනවා කොළඹ නිදහස් සංචරණයට ඉඩ දුන්නොත්. එතනදි මේ සංචරණ සීමා සම්බන්ධයෙන් කඩිනමින් තීන්දු තීරණ ගන්න බලධාරීන්ට වගකීමක් එනවා" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.
වෛද්‍ය හරිත අලුත්ගේ මහතා මේ බව පැවසුවේ අද (17) උදෑසන පෞද්ගලික රූපවාහිනී නාලිකාවක වැඩසටහනක් සමඟ සම්බන්ධ වෙමිනි.
(LNW)