Saturday, November 15, 2025
Follow Us
මැනිං තොග වෙළඳපොල තාවකාලිකව පෑලියගොඩට ගෙනයයි

පිට‍කොටුව මැනිං වෙළඳපොල ලබන සඳුදා පමණ වනවිට යළි විවෘත කිරීමට හැකිවනු ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා. මේ දිනවල ඒ සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කරමින් තිබෙන බවයි ඔහු පෙන්වා දෙන්නේ.

මේ වනවිට පිටක‍ොටුව ඇතුළු කොළඹ නාගරික ප්‍රදේශ හුදෙකලා කර ඇති අතර මේ තත්වය හමුවේ මැනිං තොග වෙළඳපොල විවෘත කිරීමට නොහැකි තත්වයක් උදා වී තිබෙනවා. ඒ අනුව මැනිං වෙළඳපොල තාවකාලිකව වෙනත් ස්ථානයකට ගෙනයාමට තීරණය කර ඇති අතර ඒ සඳහා පෑලියගොඩ ප්‍රදේශයේ පිහිටි, රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවට අයත් භූමියක් තෝරාගෙන ඇති බවයි අජිත් රෝහණ මහතා පවසන්නේ.

මැනිං වෙළඳපොල ආශ්‍රිතව පසුගියදා සිදුකළ පීසීආර් පරීක්ෂණවලදී එහි සේවය කරන සේවකයන් රැසකට කොවිඩ් 19 වෛරසය වැළඳී තිබෙන බව හඳුනා ගත් අතර ඒ අනුව වෙළඳපොල පෑලියගොඩට ගෙනයාමෙන් පසු එහි කටයුතු සඳහා සිවිල් ආරක්ෂක බළකායේ සෙබළුන් 100 ක් පමණ යෙදවීමට තීරණය කර තිබෙනවා. මැනිං වෙළඳ‍පොල වෙත පැමිණෙන‍ එළවලු තොග බෑමට සහ යළි ගැණුම්කරුවන්ගේ ලොරි රථවලට පැටවීම සඳහා ඔවුන්ගේ සේවය ලබා ගන්නා බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසන්නේ.

(LNW)