Friday, November 14, 2025
Follow Us
නියම කළ මිලට හාල් දෙන්න බෑ, සහල් හිඟයක් ඇතිවෙන්න පුලුවන් - කුඩා මෝල් හිමියන් කියයි

රජය විසින් ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත්කර ඇති සිල්ලර මිල ගණන්වලට අලෙවි කිරීම සඳහා සහල් සැපයිය නොහැකි බව කුඩා හා මධ්‍යම පරිමාණ වී මෝල් හිමියන් පවසනවා. රුපියල් 50 - 56 අතර මිල ගණන් යටතේ මිලදී ගත් වී සහල් බවට පත්කර, මෙම මිල ගණන් යටතේ සැපයිය නොහැකි බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

මෙම ගැටලුව හේතුවෙන් ඉදිරියේදී වෙළඳපොල තුළ බරපතල සහල් හිගයක් ඇතිවිය හැකි බවද ඔවුන් පවසනවා.

මේ වනවිට රටේ සහල් අවශ්‍යතාවයන් 80% කට වැඩි ප්‍රමාණයක් කුඩා හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන් විසින් සපයන බැවින්, තවදුරටත් සහල් කෙටීම සහ වෙළඳපොලට නිකුත් කිරීම තාවකාලිකව නැවැත්වීමට සිදුවන බවයි එම මෝල් හිමියන් පවසන්නේ. ජනාධිපතිවරයා මැදිහත් වී මෙම ගැටලුව විසඳනු ඇතැයි බලාපොරොත්තු වන බවද ඔවුන් පවසනවා.

මෙම මිල සංශෝධනය, සහල් මෝල් හිමියන් සමග සාකච්ඡාවක් හෝ නොපවත්වා සිදුකළ සංශෝධනයක් බවත්, මිල ස‍ංශෝධනය කිරීමට පෙර තමන් සමග සාකච්ඡා කළේ නම් මතුව ඇති තත්වය සම්බන්ධයෙන් දැනුවත් කිරීමට අවස්ථාව තිබූ බවත් මෝල් හිමියන් වැඩිදුරටත් පෙන්වා දෙනවා.

(LNW)