Friday, November 14, 2025
Follow Us
සතොසේ සීනි 85 ට

සීනි කිලෝව රුපියල් අසූව බැගින් ලංකා සමුපකාර තොග වෙළෙඳ සංස්ථාවට ලබාදෙන ලෙස වෙළෙඳ අමාත්‍යාංශය කළ ඉල්ලීමට තොග වෙළෙන්දෝ ඊයේ (4 වැනිදා) එකඟ වූහ.

සීනි ආනයනකරුවන් සහ තොග වෙළෙන්දන් සමග වෙළෙඳ ඇමැති බන්දුල ගුණවර්ධන ඊයේ (4 වැනිදා) විශේෂ සාකච්ඡාවක් පවත්වන ලදී. එහිදී සතොස සහ ලංකා සතොස සමාගම්වල පවතින සීනි හිඟයට පිළියමක් ලෙස මෙම පියවර ගැනීමට සාකච්ඡා කර ඇත. තවද සීනි කිලෝග්‍රෑමයක් රුපියල් අසූව බැගින් ලබාදීමේදී ආනයනකරුවන් සතුව දැනට පවතින සීනි තොගයෙන් අඩක් මිලදී ගන්නා බවද වෙළෙඳ ඇමැතිවරයා ප්‍රකාශ කර තිබේ. මෙලෙස ලබාගන්නා සීනි කිලෝග්‍රෑමයක් රුපියල් 85 බැගින් ලංකා සතොස මගින් අලෙවි කිරීමට නියමිතය. දැනට ලංකා සතොස මගින් පාරිභෝගිකයකුට ලබාදෙන සීනි කිලෝග්‍රෑමය වෙනුවට සීනි කිලෝග්‍රෑම් තුනක් පමණ එක් වරකදී ලබාදීමට අමාත්‍යාංශයේ අවධානය යොමුව තිබේ. සීනි ආනයනකරුවන් සතුව සීනි මෙට්‍රික් ටොන් අනූදහසක් පමණ පවතියි. ශ්‍රී ලංකාවේ සීනි මාසික පරිභෝජනය මෙට්‍රික් ටොන් 40,000 කි. රජය සීනි ආනයනය සඳහා 2019 නොවැම්බර් මස පනවන ලද රුපියල් 50 බද්ද සැප්තැම්බර් මස 13 වැනිදා ගැසට් නිවේදනයක් නිකුත් කරමින් සත 25 දක්වා අඩු කරන ලදී. මෙම කාලයේදී ආනයනය කරන ලද සීනි කිලෝග්‍රෑමයක් රුපියල් 80 ට ලබාදිය හැකි බව අමාත්‍යාංශයේ අදහසයි. කෙසේ වෙතත් මුදල් අමාත්‍යාංශය පසුගිය ඔක්තෝබර් මස 29 වැනි දින ගැසට් නිවේදනයක් නිකුත් කරමින් බදු මුදල රුපියල් 40 දක්වා වැඩි කළ අතර සීනි ආනයනය කිරීම සඳහා ආනයන අපනයන පාලකවරයාගෙන් බලපත්‍රයක් ලබාගත යුතු බවටද නියෝග කර තිබේ.

(Aruna)