Friday, November 14, 2025
Follow Us
මුව ආවරණයක් භාවිතා කළ හැකි උපරිම කාලය පැය 04 යි - වෛද්‍ය උත්පලා අමරසිංහ

මුව ආවරණයකින් ආරක්ෂාව ලැබිය හැකි උපරිම කාලසීමාව පැය 04 ක් බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය උත්පලා අමරසිංහ මහත්මිය පවසනවා. ඒ නිසා සෑම පැය 04 කට වරක්ම භාවිතා කරන මුව ආවරණය මාරු කළ යුතු බවයි වෛද්‍යවරිය පෙන්වා දෙන්නේ.

මේ වනවිට නිවසින් පිටත රැඳී සිටින සියලුම දෙනා මුව ආවරණ පැළඳීම අනිවාර්ය කර තිබෙනවා. වෛද්‍යවරිය පවසන්නේ නිවසින් පිටතට යන්නේ නම් අමතර මුව ආවරණ දෙකක්වත් රැගෙන යන ලෙසයි.

භාවිතා කළ මුව ආවරණ බැහැර කිරීමේදී නිවැරදි ක්‍රමවේද භාවිතා කරන ලෙසත්, තැන තැන දැමීමෙන් වළකින ලෙසත් උත්පලා අමරසිංහ මහත්මිය ඉල්ලා සිටිනවා. එසේ අපරික්ෂාකාරී ලෙස මුව ආවරණ බැහැර කිරීම හරහා වෛරසය පැතිරීම සිදුවිය හැකි බවද ඇය පවසනවා.

වෙළඳපොලේ පවතින මිල ගණන් සලකා බැලීමේදී පැය 04 කට වරක් මුව ආවරණ මාරු කිරීම බොහෝ දෙනෙකුට ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ නොහැකි බවයි මේ සම්බන්ධයෙන් අදහස් දක්වන, සමාජ මාධ්‍ය භාවිතා කරන්නන් පවසන්නේ. ප්‍රමිතියෙන් යුක්ත මුව ආවරණයක අවම මිල රුපියල් 05 ක් ලෙස සැලකුවහොත් මුව ආවරණ පැළඳීම සඳහා පමණක් දෛනිකව රැකියා සඳහා නිවසින් පිටතට පැමිණෙන පුද්ගලයන්ට මාසිකව දැරීමට සිදුවන පිරිවැය ඉතා ඉහළ අගයක් ගනී.

(LNW)