සංවර්ධන ප්රතිපාදන විධිමත්ව කළමනාකරණයට මානව සම්පත ශක්තිමත් කිරීම අත්යවශ්යයි – අමාත්ය මහාචාර්ය චන්දන අබයරත්න
වත්මන් රජය බලයට පත්වීමෙන් පසු දිස්ත්රික් සහ ප්රාදේශීය මට්ටමින් සංවර්ධන කටයුතු සඳහා අවශ්ය ප්රතිපාදන නිසි ලෙස වෙන් කර තිබෙන බවත් ලබාදෙන ප්රතිපාදන විධිමත්ව සහ කාර්යක්ෂමව යොදවා ගැනීමට නම් ඉංජිනේරු, සැලසුම් සහ තාක්ෂණික යන ක්ෂේත්රයන්හි මානව සම්පත අත්යවශ්ය බවත් රාජ්ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්ය මහාචාර්ය චන්දන අබයරත්න මහතා පැවසීය.
ඒ මහතා මේ බව පැවසූයේ ශ්රී ලංකා තාක්ෂණ සේවයේ (III ශ්රේණිය) කාර්මික නිලධාරී තනතුරු සඳහා තේරී පත් වූ 133 දෙනෙකු වෙනුවෙන් කොළඹ 05, "නිලමැදුර" ශ්රවණාගාරයේදී අද (15) පැවති පත්වීම් ප්රදානය කිරීමේ අවස්ථාවට සහභාගී වෙමිනි.
රාජ්ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්ය, මහාචාර්ය ඒ.වී.එම්.එච්.එච්. අබයරත්න මහතාගේ ප්රධානත්වයෙන් සහ නියෝජ්ය අමාත්ය රුවන් සෙනරත් මහතාගේ සහභාගීත්වයෙන් මෙම පත්වීම් ප්රදානෝත්සවය පැවැත්විණි.
පසුගිය වසරේ (2025 ඔක්තෝබර් 25 සහ 26 දිනවල) පැවැත්වුණු තරඟ විභාගයට 3,500කට ආසන්න පිරිසක් පෙනී සිටි අතර, ඉන් ඉහළම සුදුසුකම් ලැබූ 133 දෙනෙකු මෙලෙස දිවයිනේ සියලුම දිස්ත්රික්ක නියෝජනය කරමින් තෝරාගෙන ඇත. ඔවුන් දැනට පුරප්පාඩු පවතින දිස්ත්රික් ලේකම් කාර්යාල සහ ප්රාදේශීය ලේකම් කාර්යාල වෙත අනුයුක්ත කිරීමට පියවර ගෙන ඇත.
2014 වසරෙන් පසු, එනම් වසර 9කට පසුව තාක්ෂණ සේවයේ තෙවන ශ්රේණිය සඳහා මෙලෙස බඳවා ගැනීම් සිදු කර ඇති බවත් විශේෂයෙන්ම 2021 වසරෙන් පසුව රාජ්ය සේවයේ බොහෝ ක්ෂේත්රවල බඳවා ගැනීම් නතර වී තිබූ බවත් පැවසූ අමාත්යවරයා මෙසේ ද පැවසීය.
"වත්මන් රජය බලයට පත්වීමෙන් පසු දිස්ත්රික් සහ ප්රාදේශීය මට්ටමින් සංවර්ධන කටයුතු සඳහා අවශ්ය ප්රතිපාදන නිසි ලෙස වෙන් කර තිබෙනවා. නමුත් එම ප්රතිපාදන විධිමත්ව සහ කාර්යක්ෂමව යොදවා ගැනීමට නම් ඉංජිනේරු, සැලසුම් සහ තාක්ෂණික යන ක්ෂේත්රයන්හි මානව සම්පත අත්යවශ්යයි. පසුගිය කාලයේ පැවති තාක්ෂණික නිලධාරීන්ගේ හිඟය නිසා ඇතැම් සංවර්ධන ව්යාපෘති ප්රමාද වීමට හෝ අත්හැර දැමීමට පවා සිදු වුණා. මේ නිසා මූල්ය ඵලදායීතාව උපරිමයෙන් ළඟා කර ගැනීමට නොහැකි වූ තත්ත්වයක් තිබුණා.
මෙම තත්ත්වය මඟහරවා ගනිමින් රාජ්ය සේවය මෙන්ම පළාත් රාජ්ය සේවය ද ශක්තිමත් කිරීමට රජය ප්රතිපත්තිමය තීරණයක් ගත් බවත්, ඒ අනුව පසුගිය වසරේදී පමණක් රාජ්ය සේවයට අලුතින් 5,000 කට ආසන්න පිරිසක් බඳවා ගැනීමට කටයුතු කළ බවත් අමාත්යවරයා පැවසීය. එමෙන්ම පසුගිය මැයි 24 වනදා ගුරු සේවයට බඳවා ගැනීම් වෙනුවෙන් විභාගයක් පැවැත්වූවා සේම තවත් ක්ෂේත්ර රැසක බඳවා ගැනීම් සඳහා මේ වන විට සැලසුම් සකස් කරමින් පවතින බව ද හෙතෙම සඳහන් කළේය.
ඩිජිටල් ශ්රී ලංකා වැඩසටහන සහ දිළිඳුභාවය තුරන් කිරීම ඇතුළු රජයේ ප්රධාන වැඩසටහන් සාර්ථක කර ගැනීමට නම් රාජ්ය සේවය ශක්තිමත් විය යුතු බව පෙන්වා දුන් අමාත්යවරයා, රාජ්ය සේවකයාට ගෞරවාන්විතව ජීවත් විය හැකි පසුබිමක් නිර්මාණය කිරීම වෙනුවෙන් අයවැය මඟින් විශාල මුදලක් වෙන් කර ඇති බව ද ප්රකාශ කළේය.
2025 ජනවාරි 01 සිට: සැලකිය යුතු මට්ටමකින් වැටුප් වැඩි කළ අතර ඒ සඳහා රුපියල් කෝටි 11,000 කට වැඩි මුදලක් වෙන් කෙරිණි.
2026 ජනවාරි 01 සිට: තවත් රුපියල් කෝටි 11,000 කට වැඩි මුදලක් වැටුප් වැඩි කිරීම් වෙනුවෙන් වෙන් කර ඇත.
2027 වසරේදී ද: මෙලෙසම රුපියල් කෝටි 11,000 කට වැඩි මුදලකින් රාජ්ය සේවයේ වැටුප් වැඩිවීමක් සිදු වීමට නියමිතය.
මෙම වැටුප් වැඩිවීම්වලට සාපේක්ෂව 2027 ජනවාරි 1 වනදා සිට විශ්රාම යන නිලධාරීන්ගේ ද දීමනා ගලපා ඉහළ නැංවීමට කටයුතු කරන බව අමාත්යවරයා වැඩිදුරටත් පැවසීය. රජයේ අවසන් අරමුණ වන්නේ රාජ්ය සේවකයා තෘප්තිමත් සේවකයෙකු බවට පත් කිරීම තුළින් රටේ ආර්ථිකය ප්රසාරණය කිරීම බව ද ඔහු සඳහන් කළේය.
මෙම අවස්ථාව සඳහා රාජ්ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්යංශයේ ලේකම් එස්. ආලෝක බණ්ඩාර මහතා, ස්වදේශ කටයුතු අංශයේ අතිරේක ලේකම්වරුන් වන චිත්රා තිලකරත්න, ආචාර්ය රෝෂිණී දිසානායක, එස්.කේ. කුමාර යන මහත්ම මහත්මීන් සහ පාර්ලිමේන්තු කටයුතු අංශයේ අතිරේක ලේකම් නයනමාලි රණසිංහ මහත්මිය ඇතුළු ස්වදේශ කටයුතු අංශයේ මාණ්ඩලික නිලධාරීන්, පත්වීම්ලාභීන් සහ ඔවුන්ගේ දෙමාපියන්, ඥාතීන් විශාල පිරිසක් සහභාගී වී සිටියහ.