වරාය, සිවිල් ගුවන්සේවා සහ බලශක්ති අමාත්ය අනුර කරුණාතිලක මහතාගේ ප්රධානත්වයෙන් බණ්ඩාරනායක ජාත්යන්තර ගුවන්තොටුපළේ ඉදිරි සංවර්ධන සැලසුම් පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ගුවන්තොටුපළ හා ගුවන් සේවා (ශ්රී ලංකා) සමාගමේ කළමනාකාරීත්වය සමඟ පැවැත්විණි. අනතුරුව අමාත්යවරයා ගුවන්තොටුපළ පරිශ්රයේ නිරීක්ෂණ චාරිකාවකට ද එක්විය. මෙම සාකච්ඡාව සහ නිරීක්ෂණය තුළ ගුවන්තොටුපළ සංවර්ධන කටයුතු පිළිබඳව විශේෂ අවධානය යොමු කෙරිණි.
මෙහිදී ඉදිරියේදී වර්ධනය වන මගී ඉල්ලුමට සරිලන පරිදි ගුවන්තොටුපළ පහසුකම් පුළුල් කිරීම, මගී හැසිරවීමේ ධාරිතාව ඉහළ නැංවීම, සේවා කාර්යක්ෂමතාව සහ සේවා ගුණාත්මකභාවය වැඩිදියුණු කිරීම සඳහා ක්රියාත්මක වන සංවර්ධන වැඩසටහන් පිළිබඳව අවධානය යොමු විය.
විශේෂයෙන් Terminal 1 පුළුල් කිරීමේ ව්යාපෘතිය මගින් පිටත්වීමේ හා පැමිණීමේ ප්රදේශ, Check-in හා Boarding පහසුකම්, ආගමන විගමන හා Transit ප්රදේශ නවීකරණය කරමින් ගුවන්තොටුපළේ සමස්ත මගී හැසිරවීමේ ධාරිතාව සැලකිය යුතු ලෙස ඉහළ නැංවීමට අපේක්ෂා කෙරේ. මෙම ව්යාපෘතිය මගින් වර්තමාන ධාරිතාවට අමතරව වාර්ෂිකව මගීන් ලක්ෂ 5ක පමණ අමතර හැසිරවීමේ ධාරිතාවක් එක් කිරීමට අපේක්ෂා කෙරේ.
එමෙන්ම Terminal 2 ව්යාපෘතිය යටතේ නවීන පහසුකම් සහිත නව මගී පර්යන්තයක් ඉදිකිරීමට සැලසුම් කර ඇති අතර, එමඟින් ගුවන්තොටුපළේ දිගුකාලීන මගී අවශ්යතා සපුරාලමින් සමස්ත ධාරිතාව සැලකිය යුතු ලෙස ඉහළ නැංවීම සහ ජාත්යන්තර මට්ටමේ සේවා පහසුකම් තවදුරටත් ශක්තිමත් කිරීම අපේක්ෂා කෙරේ. මෙම ව්යාපෘතියේ ඉදිකිරීම් කටයුතු 2026 වසරේ නොවැම්බර් මාසයේදී ආරම්භ කිරීමට සැලසුම් කර ඇති අතර, ව්යාපෘතිය මාස 30ක කාලයක් තුළ අවසන් කිරීමට අපේක්ෂා කෙරේ.
මෙම සංවර්ධන සැලසුම් සහ නිරීක්ෂණ චාරිකාව මගින් බණ්ඩාරනායක ජාත්යන්තර ගුවන්තොටුපළ ඉදිරියේදී වැඩිවන ගුවන් ගමන් ඉල්ලුමට සරිලන, වඩාත් නවීන, කාර්යක්ෂම සහ මගී හිතකාමී ජාත්යන්තර ගුවන් දොරටුවක් ලෙස තවදුරටත් ශක්තිමත් කිරීම අරමුණු කෙරේ.