Saturday, January 24, 2026
Follow Us
83 වන ජාතික මල්ලවපොර ශූරතාවලියේදී ගුවන් හමුදාව ඓතිහාසික ද්විත්ව ජයග්‍රහණයකින් කිරුළු දරයි

2025 වසරේ 83 වන ජාතික මල්ලවපොර ශූරතාවලිය 2026 ජනවාරි 21 සිට 23 දක්වා කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී සාර්ථකව පැවති අතර, පිරිමි සහ කාන්තා අංශ දෙකෙහිම ශූරතා දිනා ගනිමින් ශ්‍රී ලංකා ගුවන් හමුදාව ඓතිහාසික ද්විත්ව ජයග්‍රහණයක් සනිටුහන් කළේය.

මෙම ජාතික ශූරතාවලිය සඳහා රට පුරා ප්‍රමුඛ කණ්ඩායම් 10ක් සහභාගී වූ අතර, පිරිමි හා කාන්තා අංශ දෙකෙහිම මල්ලවපොර ක්‍රීඩක ක්‍රීඩිකාවන් 170 දෙනෙකු තරඟ වදින ලදී. පිරිමි අංශයේදී ශ්‍රී ලංකා ගුවන් හමුදා කණ්ඩායම මුළු ලකුණු 34.5ක් ලබා ගනිමින් වසර 25කට පසු ජාතික ශූරතාවය නැවතත් දිනා ගත් අතර, කාන්තා කණ්ඩායම අඛණ්ඩව 13 වන වරටත් ශූරතාවය දිනා ගනිමින් ලකුණු 51ක් සමඟ සමස්ත ශූරතාවය හිමිකර ගත්තේය.

මෙම සුවිශේෂී ජයග්‍රහණය සමඟින් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ මල්ලවපොර ක්‍රීඩාවේ දීර්ඝකාලීන දක්ෂතාවයන් පැහැදිලිව පිළිබිඹු වූ අතර, තරඟාවලිය අවසානයේ පැවති ත්‍යාග ප්‍රදාන උත්සවය පසුගිය දා (.23) තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය ගරු සුනිල් කුමාර ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණී. එම අවස්ථාවට ගුවන් හමුදා ක්‍රීඩා අධ්‍යක්ෂ එයාර් කොමඩෝ ප්‍රභාත් දිසානායක මහතා, ජාතික මල්ලවපොර සංගමයේ උප සභාපති එයාර් කොමඩෝ එරන්දික ගුණවර්ධන මහතා ඇතුළු උසස් නිලධාරින්, ආරාධිත අමුත්තන්, ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගී වූහ.