Saturday, January 24, 2026
Follow Us
කොළඹගේ මාවතේ අඩු ආදායම්ලාභීන්ගේ නිවාස යෝජනා ක්‍රමයේ ඉදිකිරීම් යළි ඇරඹේ

නාවල, කොළඹගේ මාවතේ අඩු ආදායම්ලාභී ජනතාව වෙනුවෙන් ඉදිකරන, නවතා දමා තිබූ නිවාස යෝජනා ක්‍රමයේ ඉදිකිරීම් නැවත ඉදි කිරීමේ කටයුතු ඊයේ (23) ආරම්භ විය. 

කොළඹ ජීවිතය සියලු දෙනාටම ලස්සන විය යුතුයි. සංවර්ධනයේ දී සමාජ අසමානතා, ජනතා අර්බුද ඇති නොවන ලෙස සමාන ප්‍රතිලාභ සියලු ජනතාවට භුක්ති විදිය හැකි ලෙස සංවර්ධන ව්‍යාපෘති සිදුකල යුතු බවත් නාගරික සංවර්ධනයේ සැබෑ අර්ථය, ගොඩනැගිලි ඉදි කිරීමට එහා ගිය සමාජ සංවර්ධනයක් ඇති කිරීම බව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසීය.

2014 වසරේදී ඉදිකිරීම් ආරම්භ කළ මෙම නිවාස ව්‍යාපෘතිය මූල්‍ය අර්බුදය හා වෙනත් හේතුන් මත නවතා දමා තිබිණි. නාගරික සංවර්ධන අධිකාරියේ මැදිහත්වීමෙන් මෙහි ඉදිකිරීම් අද දින ආරම්භ කෙරිණ. නිවාස ඒ්කක 615 කින් සමන්විත, ව්‍යාපෘතිය සදහා රුපියල් මිලියන 7,287 ක පිරිවැයක් ඇස්තමේන්තු ගත කර ඇත. නිවාස සංකීර්ණයේ මුලු භූමි ප්‍රමාණය අක්කර 02 යි රූඩ් 01 යි පර්චස් 36 කි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

“2016 වසරේ වැඩ අවසන් කිරීමට සැලසුම් කළ ව්‍යාපෘතියක් 2026 වර්ශයේ ඇරඹීමට සිදුව තිබෙනවා. ප්‍රමාදය නිසා 2028 දක්වා ඉදිකිරීම් කාලය දීර්ඝ වෙනවා. අමාත්‍යංශයේ උපරිම සහය මෙම ඉදිකිරීම්වලට ලබාදෙනවා. ප්‍රමිතිගතව, ජනතාවගේ පහසුකම් ප්‍රමුඛතා ලෙස ඉදිරියට ගෙනෙමින් කඩිනම් ව්‍යාපාතියක් ලෙස කළ යුතු වෙනවා. ‘මේවා ගෙවල් වෙන්න ඕනි‘. සතුටින් ජීවත්විය හැකි පරිසර පද්ධතියක් හා වටිනාකම් එක්කර සැලසුමට එහා ගිය ප්‍රතිලාභයක් ජීවත්වෙන ජනතාවට ලබාදෙන ලෙස ව්‍යාපෘතියේ නිමාව තිබිය යුතු වෙනවා“

මෙම අවස්ථාවේ අදහස් දැක්වූ නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා

“මේ වසර තුල නාගරික සංවර්ධන විෂය පථයට අදාලව නව ව්‍යාපෘති රැසක් මෙන්ම නවතා දමා ඇති ව්‍යාපෘති ද නැවත ආරම්භ කරනවා,

පැවති පසුගිය රජයන් ව්‍යාපෘති ක්‍රියාත්මක කලේ අරමුණු තුනක් පෙරදැරිවයි. පලවෙනි එක ව්‍යාපෘතියට තමන්ගේ නම යොදාගන්න. ඒක තාමයි බෝඩ් දේශපාලනය.දෙවෙනි එක තමයි, ව්‍යාපෘතිය හරහා තමන්ට ලැබෙන කොමිස් කුට්ටිය වෙන්කර ගන්න එක. තුන්වෙනි කාරණය තමයි තම දේශපාලනයට වාසි සහගත ලෙස මේ ව්‍යාපෘති අඛන්ඩව යොදා ගන්න එක ...! ඉතින් මේවා අවසන් වෙන් නෑ...!!

අපේ දැක්ම ව්‍යාපාරිකයින් ඇතුලු සියලු ජනතාවට අයිති නගර නිර්මාණයයි. ප්‍රමිතියට, කාල රාමුවට ඉදිකරන ව්‍යාපෘති  සදහායි. අපට ලැබුනේ බිදවැටුණු රටක්, නතර වුණු රටක්. ජනවරම අනුව ජනතාව සදහා ම තිරසර ව්‍යාපෘති  ඉදිරියේදී ක්‍රියාත්මක කරනවා..."