Sunday, July 06, 2025
Follow Us
ඇඳිරිය ලිහිල් කළත් ත්‍රීවීල් ධාවනය ගැන රජයේ නිසි අවධානයක් නෑ

ඇඳිරිනීතිය ලිහිල් කළද ලක්ෂ අටහමාරක් වූ ත්‍රීවීල් රථ ධාවනය පිළිබඳව රජයේ නිසි අවදානයක් යොමු වී නැතැයි ලංකා ස්වයං රැකියා වෘත්තිකයින්ගේ ජාතික ත්‍රිරෝද රථ සම්මේලනයේ සභාපති සුනිල් ජයවර්ධන පවසයි.

බස්නාහිර පළාත තුළ පමණක් ලක්ෂ හතරකට ආසන්න ත්‍රිරෝද රථ සංඛ්‍යාවක් පවතින බවත් කාර්යාල සේවකයින් වැඩි ප්‍රමාණයක් ප්‍රවාහනය සඳහා යොදා ගන්නා ත්‍රිරෝද රථ විෂබීජානුහරණය කිරීමේ වැඩපිළිවෙළක් හෝ ඒ සම්බන්ධ උපදෙසක් මෙතෙක් අදාළ බලධාරීන් විසින් ලබා දී නැති බවද හෙතෙම කීය.

මේ අතර ත්‍රිරෝද රථ රියැදුරන් විසින් මැයි මස 11 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි තම ආදායමෙන් දිනකට රුපියල් 100 කොවිඩ් අරමුදලට ලබා දෙන බව පැවැසුවද රජය ඊට ප්‍රතිචාර නොදැක්වූ බවද ඔහු මෙහිදී සඳහන් කළේය.

කෙසේ නමුත් ඉදිරියේ දී රජය මෙම මුදල ලබා ගැනීමේ යම් වැඩපිළිවෙළක් ඉදිරිපත් කරන්නේ නම් තම සංගමයට අයත් ත්‍රිරෝද රථ රියැදුරන් එම මුදල රජයට ලබාදීමේ සූදානමින් සිටින බව හෙතෙම වැඩිදුරටත් පැවැසීය.

(Aruna)