පසුගිය ජනාධිපතිවරණයේදී තමාගේ ප්‍රධාන ප්‍රතිවාදියා සිය ප්‍රචාරක කටයුතු ආරම්භ කර විවිධ සංවිධාන සමග වැඩ කරද්දී, තමාට අපේක්ෂකත්වය ලබා ගැනීම වෙනුවෙන් රස්තියාදු වීමට සිදු වූ බවත්, අවසානයේ අපේක්ෂකත්වය ලබාදුන් නමුත් ඒ ලබාදුන්නේ ජනාධිපතිවරණයෙන් දිනවීමටද එසේ නැතහොත් පරාජය කිරීමටද යන්න තවමත් සිතාගත නොහැකි බව සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
ඔහු මේ බව සඳහන් කළේ කළුතර මතුගම ආසනයේ එජාප පාක්ෂිකයන් සමග පැවති සාකච්ඡාවකදීය.
මින් ඉදිරියට කිසිවක් පිටුපස නොයන බවත්, වෙනත් කිසිවෙකුවේ අවශ්‍යතා වෙනුවෙන් පාවිච්චි නොවන බවත් සජිත් ප්‍රේමදාස මහතා පවසයි. තමා ජනාධිපතිවරණයේදී පරාජය කිරීමට ප්‍රතිවාදියාට වඩා කටයුතු කළේ තමන්ගේ වේදිකාවේම සිටි පුද්ගලයන් බවයි ප්‍රේමදාස මහතා පවසන්නේ. ඒ් අනුව දේශපාලනයෙන් විශ්‍රාම යාම හැර වෙනත් විකල්පයක් ඉතිරි වී නොමැති බව ද ඔහු පෙන්වා දෙනවා.
ඉදිරි මහ මැතිවරණයේදී තවත් අං තට්ටුවක් පැළඳීමට ඇතැම් පුද්ගලයන් උත්සාහ කරන නමුත් තවදුරටත් රැවටීමට සූදානම් නොමැති බව පෙන්වා දෙන සජිත් ප්‍රේමදාස මහතා පවසන්නේ එජාප නායකත්වය සහ මැතිවරණය මෙහෙයවීමේ පූර්ණ බලතල නොමැතිව අගමැති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වීමට කිසිසේත් සූදානම් නොමැති බවයි. බලය නොමැතිව තනතුරු පමණක් ලබාදීමෙන් නැවතත් සිදුවන්නේ පසුගිය ජනාධිපතිවරණයේදී සිදු වූ දෙයම බව ද ඔහු පෙන්වා දෙනවා.
(LNW)