Friday, July 04, 2025
Follow Us
වරෙන්තුවට වඩා නීතිපති උපදෙස් බලවත් - ගම්මන්පිල

පාර්ලිමේන්තුව බලතල හා වරප්‍රසාද පනත අදාල වන්නේ පාර්ලිමේන්තු රැස්වීම් පැවැත්වෙන අවස්ථාවක මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පමණක් බව පිවිතුරු හෙළ උරුමයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි. රටේ නීතිය හා පාර්ලිමේන්තු සම්ප්‍රදාය නොදත් එජාප මන්ත්‍රීවරුන් මාධ්‍ය හමු පවත්වමින් චම්පික රණවක මහතාගේ වරප්‍රසාද කඩ වී ඇති බවට රජයට චෝදනා එල්ල කරමින් සිටින බවද ගම්මන්පිල මහතා පවසයි.

චම්පික රණවක මහතා අත්අඩංගුවට ගත්තේ නිවසේ සිටින අවස්ථාවක බැවින් කිසිසේත් ඔහුගේ වරප්‍රසාද කඩවීමක් හෝ පාර්ලිමේන්තු සම්ප්‍රදාය උල්ලංඝනය වීමක් සිදුව නොමැති බවයි මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ.

අද (20) කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ගම්මන්පිල මහතා මේ බව සඳහන් කළේය.

වරෙන්තු නොමැතිව අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් එල්ල වන චෝදනා සම්බන්ධයෙන් පැහැදිලි කරන ගම්මන්පිල මහතා පවසන්නේ සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට වරෙන්තුවක් අත්‍යවශ්‍යම නොවන බවයි. චම්පික රණවක මහතා අත්අඩංගුවට ගත්තේ නීතිපතිවරයාගේ උපදෙස් මත බැවින් වරෙන්තුවකට වඩා නීතිපතිවරයාගේ උපදෙස් වඩා බලවත් බව ද ගම්මන්පිල මහතා පවසයි.

(LNW)