මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම හරහා මෙරට ඉඩම් අයිතිය ඇමරිකානුවන් අතට පත්වන බව හා ජාතික ආරක්ෂාව අනතුරට ලක්වන බව පවසමින් ජනාධිපතිවරණයේදී එම ගිවිසුම විවේචනය කළ පුද්ගලයන් අද එම ගිවිසුමේ අඩංගු යෝජනාවලින් 70% ක් හොඳ බව පවසමින් ගිවිසුම සාධාරණීකරණය කරමින් සිටින බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. එම පක්ෂයේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා අද (16) පැවති මාධ්‍ය හමුවකදී මේ බව සඳහන් කළේය.
මෙම ගිවිසුම කුණු කූඩයට දැමීම සඳහා ගෝඨාභය රාජපක්ෂ මහතා දිනවන්නැයි ජනතාවගෙන් ඉල්ලා සිටි පුද්ගලයන් අද ගිවිසුම සාධාරණීකරණය කරන්නේ කෙසේද යන්න සම්බන්ධයෙන් සහ ගිවිසුමේ කරුණුවලින් 70% ක් හොඳ වන්නේ කුමන නිර්ණායක මතද යන්න රජය ජනතාවට පැහැදිලි කළයුතු බවත් විජිත හේරත් මන්ත්‍රීවරයා පවසනවා.
මේ වනවිට MCC ගිවිසුම නැවත සලකා බැලීම සඳහා ආචාර්ය ලලිතසිරි ගුණරුවන් මහතාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් ද පත්කර තිබේ. ගිවිසුමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ ගොනුකර ඇති පෙත්සම් විභාගයට ගත් අවස්ථාවේදී රජය වෙනුවෙන් කරුණු දැක්වූ නීතිපතිවරයා ප්‍රකාශ කළේ ගිවිසුම අත්සන් කරන්නේද යන්න සම්බන්ධයෙන් නැවත සලකා බැලීම සඳහා රජය තීරණය කර ඇති බවයි.
කුමන රජයක් බලයේ සිටියද MCC ගිවිසුම සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ ස්ථාවරය වෙනස් නොවන බව පෙන්වා දෙන විජිත හේරත් මහතා පවසන්නේ එපමණක් නොව 1995 වසරේ අත්සන් කළ සෝෆා ගිවිසුමට සහ 2007 වසරේ එවකට ආරක්ෂක ලේකම්වරයා වූ වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හා ඇමරිකානු තානාපති රොබට් ඕ බ්ලේක් මහතා අතර අත්සන් තැබූ ඇක්සා ගිවිසුමටත් විරෝධය පළ කරන බවයි. මෙම ගිවිසුම තුන හරහාම්‍රටේ ජාතික ආරක්ෂාවටත් ස්වෛරීභාවයටත් හානි සිදුවන බවයි මන්ත්‍රීවරයා පවසන්නේ.
ඒ නිසා කැබිනට් මණ්ඩලයේ සාකච්ඡා කිරීම්, අනු කමිටු පත් කිරීම් වැනි බොරු නොකර සත්‍ය තත්වය සම්බන්ධයෙන් ජනතාවට පැහැදිලි කරන ලෙසත්, මැතිවරණ වේදිකාවේදී ප්‍රකාශ කළ අයුරින් මෙම ගිවිසුම කුණු කූඩයට දාන්නේද එසේ නැතහොත් ඇමරිකාව ඉදිරියේ කොන්ද නමා රටේ ස්වෛරීභාවය ඇමරිකාවට පාවා දේනනේද යන්න සෘජුවම ජනතාවට ප්‍රකාශ කරන ලෙසත් ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බව විජිත් හේරත් මහතා අවධාරණය කර සිටී.
(LNW)