Friday, July 04, 2025
Follow Us
ශ්‍රීලනිප - පොහොට්ටු ලකුණේ ගැටුමත් අළුත් වෙයි!

ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ මහා මැතිවරණ ලකුණ සම්බන්ධයෙන් වන අර්බුදය ද දැන් උත්සන්න වෙමින් තිබේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ සෙසු පක්ෂ පොදු ලකුණක් ගැන කියද්දී පොහොට්ටු පාර්ශවය මහ මැතිවරණයේ ලකුණ පොහොට්ටුව විය යුතු බවට අවධාරණය කරමින් සිටියි.

කෙසේවෙතත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකවරුන් සමඟ පැවති සාකච්ජාවේදී එම ලකුණ සම්බන්ධයෙන් තීරණයකට පැමිණ ඇති අතර ශ්‍රීලනිප මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසන්නේ ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ ව්‍යවස්ථාවට අනුව මහ මැතිවරණයට තරඟ කළ යුත්තේ "පුටුව" ලකුණින් බවයි.

පක්ෂ 17 එක්වී ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ අත්සන් කර ඇති ගිවිසුමේ එය පැහැදිලිව දක්වා ඇති හෙයින් එම එකඟතාව බිඳ දැමීමට කිසිවෙකුට හෝ අයිතියක් නොමැති බවයි දයාසිරි ජයසේකර මහතා සඳහන් කරන්නේ.

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ වැඩපිළිවෙල සම්බන්ධයෙන් ජනතාව තුළ පැහැදීමක් ඇති හෙයින් තවදුරටත් එම වැඩපිළිවෙල ශක්තිමත් කිරීම සඳහා ශක්තිමත් පාර්ලිමේන්තුවක අවශ්‍ය නිසා ඒ වෙනුවෙන් සියලු දෙනා මැදිහත් විය යුතු බව ඔහු පෙන්වාදෙයි.

සොරුන්, මංකොල්ලකරුවන්, මිනීමරුවන්ගෙන් තොර උගත්, බුද්ධිමත් නියෝජිතයන්ගෙන් සමන්විත පාර්ලිමේන්තුවක්
ඇතිකර ගැනීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කැප වන බවද ඔහු කියා සිටියි.

කෙසේවෙතත් මෙම ලකුණේ ප්‍රශ්නය ජනාධිපතිවරණ සමයේදී මෙන් ප්‍රශ්න සහගත තැනකට පත්ව තිබේ.

පසුගියදා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ මාධ්‍ය හමුවක් කැඳවමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා අවධාරණය කළේ ඉදිරි මහ මැතිවරණය සඳහා දැනටමත් ජනප්‍රිය ලකුණ වන පොහොට්ටුවෙන්ම ඉදිරිපත් විය යුතු බවයි.

පොහොට්ටුව නියෝජනය කරන පාර්ශවයේ මතය එය වුවද ශ්‍රීලනිපය ඊට විරුද්ධත්වය පළකරමින් තිබෙන මොහොතක මහ මැතිවරණයේ ලකුණ පිළිබඳ ගැටුම ඉදිරියේදී තවත් උණුසුම් පුවත් ගොඩනගනු ඇත.

(LNW)