Friday, July 04, 2025
Follow Us
හිටපු ආණ්ඩුකාර රෙජිනෝල්ඩ්ට පොහොට්ටුවෙන් ප්‍රහාරයක් !

හිටපු ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා ඊයේ (11) වාද්දූව, තල්පිටිය ප්‍රදේශයේ පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනහමුවක් ඇමතීමට පැමිණි අවස්ථාවේදී එම පක්ෂයේ සාමාජිකයින් පිරිසක් විසින් ඒ මහතාට දැඩි විරෝධයක් පළ කිරීම නිසා ගුටි බැට හුවමාරුවක් ද සිදුව ඇතැයි වාර්තා වේ.

ඊයේ පස්වරුවේ පැවති මෙම ජනහමුව ඇමතීම සඳහා රෙජිනෝල්ඩ් කුරේ මහතා පැමිණි අවස්ථාවේදී ඔහුගේ වාහනය වටකරගත් පොහොට්ටු සාමාජිකයින් ඔහුට වේදිකාව වෙත යාමට නොදී බාධා කර තිබුණු අතර කුරේ මහතා ද වාහනයෙන් බැස ඔවුන්ව තල්ලු කරමින් ඉදිරියට යාමට තැත්කළ අවස්ථාවේදී අතිශය උණුසුම් තත්වයක් නිර්මාණය වී තිබිණි.

කෙසේවෙතත් අවසානයේ රැස්වීම් වේදිකාව වෙත පැමිණි කුරේ මහතා තමන්ගේ කතාව පැවැත්වූ නමුත් පොහොට්ටු සාමාජිකයින් පිරිස ඔහුට හූ කියමින් දැඩි විරෝධයක් පළ කර ඇති අතර අවසානයේ තත්වය පාලනය කිරීම සඳහා පොලිසිය ද කැඳවීමට සිදුව ඇත.

"කිහිප දෙනෙක් මට පහරදීමටත් උත්සාහ කළා. නමුත් මට බරපතළ තුවාලයක් අරවා මේවා කිසිවක් නැතුව මම ආරක්ෂිතව ඇතුළට ගියා. ඔවුන්ගේ බලාපොරොත්තුව වුණේ මගේ රැස්වීම නතර කරලා මාව බියගුල්ලෙකු සේ පළවා හරින්න. මම ඒ බාධක මැදින් ගිහිල්ලා සාර්ථකව රැස්වීම අවසන් කළා" යනුවෙනුයි මෙම සිදුවීමෙන් අනතුරුව රෙජිනෝල්ඩ් කුරේ මහතා මාධ්‍ය වෙත සඳහන් කළේ.

රෙජිනෝල්ඩ් කුරේ මහතා ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිට පසුගිය ජනාධිපතිවරණ සමයේදී පොහොට්ටුවට එක්වූ අයෙකි. ශ්‍රීලනිප දේශපාලනඥයින්ට හූ කීමේ සහ විරෝධය පෑමේ රැල්ලක් ජනාධිපතිවරණ සමය තුළ පොහොට්ටු සාමාජිකයින් අතර පැවතුණි. එය තවමත් නතර වී නොමැති බව මෙම සිදුවීමෙන් පෙන්නුම් කෙරේ.

(LNW)