'ගෝඨාභය රාපජක්ෂ ජනාධිපතිවරයාට තියන හොඳම වාසිය තමයි එයා අඩුම ගානෙ ප්‍රාදේශීය සභාවකවත් මහජන නියෝජිතයෙක් වෙලා හිටපු නැති එක. සමහර පුද්ගලයන් ඒක ජනාධිපති තනතුරට පත්වීමට ඇති විශාල අඩුපාඩුවක් විදියට හඳුන්වනවා. ඒත් මම නං කියන්නෙ ගෝඨාභය රාජපක්ෂ මහත්තයට තිබුණු හොඳම සුදුසුකම ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක් විදියටවත් කටයුතු නොකර සිටීම.'
මෙසේ පවසන්නේ මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයාය. තමා සරළ ජනාධිපතිවරයෙකු ලෙස ජනතාව විසින් හැඳින්වූ අතර තමා සරළ ජනාධිපති නම් වත්මන් ජනාධිපතිවරයා අති සරළ ජනාධිපති ලෙස හැඳින්විය හැකි බවයි සිරිසේන මහතා පවසන්නේ.
ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු ලෙසවත් දේශපාලන අත්දැකීම් නොමැති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති තනතුරට පත් වී සියලු කටයුතු අවුල් කරගනු ඇතැයි ඇතැම් පුද්ගලයන් බලාපොරොත්තු වුවත් ගෝඨාභය රාජපක්ෂ මහතා පළමු මාසයේදීම තමා ජනාධිපති තනතුරට සුදුසු බව තහවුරු කර ඇතැයි ද මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.
'ජනාධිපතිවරයට කාත් එක්කවත් විශේෂ බැඳීම් නෑ, එයාට බැඳීම තියෙන්නෙ රටත් එක්කයි රටේ ජනතාවත් එක්කයි විතරයි. ඒ නිසා එයාට වැඩ කරන්න හරි ලේසියි. එයා මීට කලින් දේශපාලනයේ නිරත වෙලා හිටියා නං ඇමතිවරු එක්ක මන්ත්‍රීවරු එක්ක බැඳීම් තියනවා. එහෙම බැඳීම් තියනකොට වැරැද්දක් දැක්කත් අහක බලාගෙන ඉන්න වෙනවා. පසුගිය වසර පහකට ආසන්න කාලයේදී ඇතැම් අවස්ථාවලට මටත් වැරදි දැක දැකත් අහක බලාගෙන ඉන්න උනා. ඒ අපිට බැඳීම් තිබුණු නිසා. මම සමහර වෙලාවට ඒවා ප්‍රසිද්ධියේ කියලත් තියනවා. හැබැයි පස්සෙ මොනව කිව්වත් වැඩක් නෑ වැරැද්දක් දැක්කම අපිට ඒක ඒ වෙලාවෙම නිවැරදි කරන්න බැරිනං. ගෝඨාභය මහත්තයට අපිට තිබුණෙ නැති ඒ වාසිය තියනවා. ඔහු සෘජු තීරණ ගන්න, දේශපාලකයන් සමග බැඳීම් නැති කෙනෙක්.' යැයි හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසනවා.
ගෝඨාභය රාජපක්ෂ මහතාට ඇති පිටියේ වාසිය පිළිබඳව පැහැදිලි කරන හිටපු ජනාධිපතිවරයා ඔහුට ඇති ප්‍රබල තර්ජනයක් සම්බන්ධයෙන් ද පැහැදිලි කරනවා. ඔහු පවසන්නේ ජනාධිපතිවරයාට ඇති ප්‍රබලම තර්ජනය වන්නේ සිය සහෝදරයන් ඇතුළු රාජපක්ෂ පවුලේ ප්‍රබලයන් බවයි. 'ගෝඨාභය මහත්තයා ඇරෙන්න අනිත් අයියලා-මල්ලිලා ටික අං ගිලපු උදවිය. එයාලා කවුරුවත් සත පහකට විස්වාස කරන්න බෑ. මටත් කෙලවුනේ එය සහෝදරයො නිසා තමයි. ජනාධිපතිවරයා තමන්ගේ අයියලා-මල්ලිලාගෙන් පරෙස්සම් උනොත් දුර ගමනක් යන්න පුලුවන්. එහෙම උනොත් ගෝඨාභය මහත්තයා ගොඩ. හැබැයි තමන්ගෙ සහෝදරයෝ පාලනය කරගන්න බැරි උනෙත් ඒකම ඇති ජනාධිපතිවරයට අමාරුවෙ වැටෙන්න.'
ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති තනතුරේ දිවුරුම් දුන් සැනින් තමාගේ ආරක්ෂාව සැලකිය යුතු ප්‍රමාණයකින් අඩුකළ බවත්, විසි ගණනක් වූ පරිවාර රථ ප්‍රමාණය තුනක් දක්වා අඩු කිරීමට තීරණය කළ බවත් පෙන්වා දෙන හිටපු ජනාධිපතිවරයා පවසන්නේ ඔහුට එවැනි තීරණයක් ගැනීමට හැකි වූයේ තමා ඊට පෙර ආරක්ෂක ඇමතිවරයා ලෙස නියමිත පරිදි රාජකාරි ඉටුකර තිබූ බැවින් බවයි. ආරක්ෂක ඇමතිවරයා ලෙස තමා රටේ ආරක්ෂාව තහවුරු කර තිබූ බැවින් ජනාධිපතිවරයාට කිසිදු බියකින් තොරව සිය ආරක්ෂාව බරපතල ලෙස අඩු කිරීමට හැකි වූ බව මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.
(LNW)