Friday, July 04, 2025
Follow Us
රනිල්ගේ නායකත්වයෙන් එජාපය ආණ්ඩුවට පාඩමක් උගන්වනවා - අකිල විරාජ්

2015 ජනාධිපතිවරණයේදී එජාපය ප්‍රමුඛ සන්ධානයේ ජනාධිපති අපේක්ෂකයා ජයගෙන එජාපයට වාසි සහගත තත්වයක් නිර්මාණය වී තිබියදී වුවද මාස හතකින් පසුව එළඹි මහ මැතිවරණයේදී පාර්ලිමේන්තු බහුතරය දිනා ගැනීමට එජාපය අසමත් වූ බවත් ඒ අයුරින්ම වත්මන් ආණ්ඩුවට මීලඟ මහ මැතිවරණයේදී එම පාඩම ඉගැන්වීමට එජාපය සූදානම් බවත් එජාප මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා පවසනවා.

අද පැවති මාධ්‍ය හමුවකදී එජාප මහ ලේකම්වරයා මේ බව ප්‍රකාශ කළේය.

පක්ෂයක් ලෙස එකතු වී අනෙක් පක්ෂ ද එකතු කරගෙන එක් හඬකින් ඉදිරියට ගියහොත් මහ මැතිවරණයේදී බහුතර පාර්ලිමේන්තු බලයක් දිනා ගැනීම අපහසු නොවන බවයි කාරියවසම් මහතා පවසන්නේ. එජාපය ඉදිරියට යායුතු බවත් එම ගමන සඳහා බාධා කිරීමට කිසිවෙකුට නොහැකි බවත් ඔහු වැඩිදුරටත් පවසනවා.

ඉදිරි මැතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් මැතිවරණයට මුහුන දෙන බව ද එජාප ලේකම්වරයා පවසනවා. ඒ සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සඳහා පක්ෂ නායකයා විසින් කමිටුවක් පත්කර තිබෙන බවත්, එම කමිටුවේ නිර්දේශ මත ඉදිරි මැතිවරණය ජයග්‍රාහීව අවසන් කිරීමට පක්ෂයේ සියලු දෙනා සහයෝගය ලබා දිය යුතු බවත් කාරියවසම් මහතා අවධාරණය කරනවා.

(LNW)