ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ක්‍රීඩකයන් ඇතුළු ජනප්‍රිය චරිත රැසක් මීළඟ මහ මැතිවරණය සඳහා ඉදිරිපත් වීමට නියමිත බව වාර්තා වේ. මේ බොහෝ දෙනා මැතිවරණයට ඉදිරිපත් වීමට සූදානම් වන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමගයි.
ඒ අනුව හිටපු සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් තරග කිරීමට සූදානමින් සිටී. ඔහු උතුරු පළාත් ආණ්ඩුකාර තනතුර සඳහා පත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සූදානම් වූ අතර ඒ සම්බන්ධයෙන් අවස්ථා කිහිපයදී මුරලිදරන්ට යෝජනා කර තිබිණි. කෙසේ වෙතත් ඔහු දිගින් දිගටම ප්‍රකාශ කළේ තමා එම තනතුර භාර ගැනීමට කිසිසේත් සූදානම් නොමැති බවයි.
ඉන්පසු ඔහුට මහ මැතිවරණය සඳහා ඉදිරිපත් වන්නැයි යෝජනා කර ඇති අතර මුරලි එම යෝජනාවට එකහෙළාම කැමැත්ත පළකර ඇති අතර ඔහු පවසා ඇත්තේ නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් තරග කිරීමට තමා සූදානම් බවයි.
මේ වනවිට නුවරඑළිය දිස්ත්‍රික්කයේ බහුතර බලය එජාපය ප්‍රමුඛ දේශපාලන කඳවුර හිමි කරගෙන සිටින අතර උතුරු-නැගෙනහිර හැරෙන්නට පසුගිය ජනාධිපතිවරණයේදී එජාපය සහයෝගය දැක්වූ අපේක්ෂකයා ජයග්‍රහණය කළේ ද නුවරඑළිය දිස්ත්‍රික්කය පමණි. ඉදිරි මහ මැතිවරණයේදී මුරලිදරන් හරහා එජාපයේ ඡන්ද පදනමට දැඩි බලපෑමක් සිදු කිරීම පොදුජන පෙරමුණේ නායකයන්ගේ බලාපොරොත්තුවයි.
මේ අතර හිටපු තුන් ඉරියව් ක්‍රීඩක ටී.එම්. ඩිල්ෂාන් කළුතර දිස්ත්‍රික්කයෙන් තරග කිරීමට සූදානමින් සිටී. ඔහු අවස්ථා කිහිපයකදීම තමා දේශපාලනයට පැමිණෙන බවට ඉඟි පළකළ අතර ඒ අනුව ඉදිරි මහ මැතිවරණයේදී ක්‍රියාකාරී දේශපාලනයට පැමිණෙනු ඇත.
මීට අමතරව පසුගිය ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් සක්‍රීය දායක්වය දැක්වූ විශ්‍රාමික හමුදා නිළධාරීන්, නළු නිළියන්, කලාකරුවන් රැසක් මහ මැතිවරණය සඳහා තරග කිරීමේ අපේක්ෂාවෙන් සිටී.
(LNW)