Saturday, July 05, 2025
Follow Us
සජිත් නායක පුටුව ඕනෑම කියයි ! නායකත්ව අර්බුදය විසඳන්න තවත් කමිටුවක් !

එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සම්බන්ධයෙන් මතුව ඇති අර්බුදය විසඳීම සඳහා විශේෂ කමිටුවක් පත් කරන බවත්, එම කමිටුව හරහා මතුව ඇති අර්බුදය සම්බන්ධයෙන් සොයා බලන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා පවසනවා.

ලබන සඳුදා (09) එජාප ජ්‍යෙෂ්ඨයන් නැවත හමුවීමට නියමිත අතර එහිදී අදාල කමිටුව නිළ වශයෙන් නම් කිරීමට නියමිත වේ. මේ වනවිට අදාල කමිටුව සඳහා එජාප මහ ‍ලේකම් අකිල විරාජ් කාරියවසම්, කබීර් හෂීම්, මලික් සමරවික්‍රම ඇතුළු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුගේ නම් යෝජනා වී තිබෙනවා.

මේ වනවිට සජිත් ප්‍රේමදාස මහතාට පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකත්වය ලබාදීමට එජාපයේ සියලු දෙනාගේ එකඟතාවය හිමිව තිබේ. කෙසේ වෙතත් සජිත් ප්‍රේමදාස මහතා සහ ඔහුට සහාය දක්වන කණ්ඩායම පවසන්නේ විපක්ෂ නායකත්වයෙන් පමණක් සෑහීමට පත්විය නොහැකි බවයි. පූර්ණ බලතල සහිතව එජාපයේ නායකත්වයද ලබාදිය යුතු බවත්, ඉදිරි මහ මැතිවරණය මෙහෙයවීමේ සියලු බලතල ලැබිය යුතු බවත් ඔවුන් පවසනවා.

එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසන්නේ පක්ෂයේ තනතුරු බෙදා ගැනීමට පෙර පක්ෂය තුළ සමගිය ඇති කිරීම අත්‍යවශ්‍ය බවයි.

පසුගිය බ්‍රහස්පතින්දා එජාප පාර්ලිමේන්තු කණ්ඩායම රැස් වී මතුව ඇති අර්බුද සම්බන්ධයෙන් සාකච්ඡා කළ අතර එහිදී තීරණය වී ඇත්තේ නත්තල් නිවාඩුවට පෙර සියලු අර්බුද විසඳා ගත යුතු බවයි.

(LNW)