Saturday, July 05, 2025
Follow Us
එජාප නායකත්වය නැතිනම් සජිත් අලුත් පක්ෂයකින් එයි - නාමයෝජනා ලැයිස්තුත් සූදානම්

සජිත් ප්‍රේමදාස මහතාට එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සහ ඉදිරි මහ මැතිවරණයේදී එජාපය මෙහෙයවීමේ පූර්ණ බලතල නොලැබෙන්නේ නම් එජාපයෙන් ඉවත්ව වෙනම පක්ෂයක් ගොඩනැගීම කෙරෙහි සජිත් පිළේ නායකයන්ගේ අවධානය යොමුව තිබෙනවා. ඒ අනුව මේ දිනවල නව පක්ෂයේ මහ මැතිවරණ අපේක්ෂක ලැයිස්තු ද සකස් කිරීම ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.

සජිත් පිළ පවසන්නේ පසුගිය ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතාගේ පරාජයට ප්‍රධානතම හේතුව වූයේ එජාප නායකයා ඇතුළ පක්ෂයේ ඉහළ නායකයන් පිළිබඳ ජනතාව තුළ තිබෙන අප්‍රසාදය බවයි. අවසානයේ ඒ සඳහා වන්දි ගෙවීමට සජිත් ප්‍රේමදාස මහතාට සිදු වූ බව ඔවුන්ගේ තර්කයයි. එවැන්නක් නැවත සිදුවීම වැළැක්වීමට නම් එක්කෝ පූර්ණ බලය සහිත එජාප නායකත්වය සජිත් ප්‍රේමදාස මහතාට හිමි විය යුතු බවත්, එසේ නැතහොත් සජිත් ප්‍රේමදාස මහතා එජාපයෙන් ඉවත්ව නව පක්ෂයක් පිහිටුවා ගතයුතු බවත් ඔවුන් පෙන්වා දෙනවා.

තවදුරටත් එජාපය සමග සිටීමෙන් ඉදිරි මැතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතාට තවත් අවාසි සිදුවන බැවින් හැකි ඉක්මනින් අවසන් තීරණයකට පැමිණෙන්නැයි සජිත් පිළේ ප්‍රධානීන් සජිත් ප්‍රේමදාස මහතාට අවධාරණය කර තිබෙනවා.

(LNW)