කඩාවැටෙමින් තිබෙන එක්සත් ජාතික පක්ෂය සම්බන්ධයෙන් ජනතාවට තවදුරටත් විශ්වාසයක් තැබිය නොහැකි හෙයින් ශක්තිමත් විපක්ෂයක කාර්යභාරය ඉටුකිරීමට ජාතික ජනබලවේගය සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
ඔහු මේ බව සඳහන් කළේ කළුතර ප්‍රදේශයේ පැවති වැඩසටහනකට එක්වෙමිනි.
ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආණ්ඩුව හමුවේ ශක්තිමත් සැබෑ විපක්ෂයක් බවට පත්වීමට එක්සත් ජාතික පක්ෂයට හෝ රනිල් වික්‍රමසිංහ මහතාට හෝ සජිත් ප්‍රේමදස මහතාට නොහැකි බවයි මන්ත්‍රීවරයා අවධාරණය කරන්නේ.
"මෙතරම් කාලයක් පොරකාලා තියෙන්න පක්ෂ නායකත්වය ගන්නයි විපක්ෂ නායකකම ගන්නයි ජනධිපති අපේක්ෂක වෙන්නයි විතරයි. ඒ නිසා අපි කියන්නේ එළඹෙන මහමැතිවරණයේදී මේ රටේ ජනතාවට තවදුරටත් මේ කඩාවැටෙන, බිඳ වටෙන් එක්සත් ජාතික පක්ෂය ගැන විශ්වාසය තියලා වැඩක් නැහැ. දැන් තිබෙන්නේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ආණ්ඩුවට සාධනීය විවේචනයක් කරලා රට පැත්තෙන් කරගන්න පුළුවන් හොඳ වැඩ කරගන්නට සමත් ශක්තිමත් විපක්ෂයක් අවශ්‍යතාව. ඒකට ජාතික ජනබලවේගය සුදානම්"
මේ වන විට තමන්ට ජන්දය දුන් ජනතාවද පසෙක දමා සුපුරුදු බල සූදුවට ඇද වැටි සිටින බව පෙනෙන්නට තිබෙන බව නලින්ද ජයතිස්ස මහතා කියාසිටියේය.
"ජනාධිපතිවරණයේදී ලක්ෂ 55ක ජනතාවක් සජිත් ප්‍රේමදාස මහත්මයාට විශ්වාසය තියලා ජන්දය දුන්නා. තමන්ට ජන්දය ලැබුණේ නැහැ කියලා විශේෂයෙන් හම්බන්තොට වැඩකරපු, බඩු බෙදපු ජනතාව තමන්ට ජන්දය දුන්නේ නැහැ කියලා ජනතාවට බැනලා ඒ ජනතාව අතහැරලා පලායන එක නෙවෙයි සජිත් ප්‍රේමදාස මහත්මයාගේ වගකීම. ඒක නෙවෙයි නායකත්වය. විශේෂයෙන්ම දෙමළ සහ මුස්ලිම් ජනතාව එතුමා කෙරෙහි විශ්වාසය තබා තිබෙනවා. දැන් එතුමා ඒ ජනතාවට පිටිපස්ස හරවලා ඒ අය දාලා යන්න තමයි සූදානම් වෙන්නේ."
මේ අතර ගෝඨාභය රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් මේ රටේ ජනතාව ලක්ෂ 69ක විශ්වාසයක් තබා ඇති බව පහුගිය ජනාධිපතිවරණයෙන් පෙන්නුම් කරන අතර ඔහුට රට පාලනය කිරීමට දින 1825ක්ඇති බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.
"තාම දින 14ක්වත් ගතවෙලා අවසන් වුණේ නැහැ. අපි බලාගෙන ඉන්නවා ගෝඨාභය රාජපක්ෂ මහත්තයා තමන්ට ලැබුණු ජනවරම අනුව කටයුතු කරන ආකාරය ගැන."
කෙසේවෙතත් තමන්ව බලයට පත්කිරීමට වටේ සිටිමින් කෑගහපු, පටු කල්පනාවක් සහිත අදුරදර්ශී අයගේ උපදෙස් වලට යට නොවී ජනාධිපතිවරයෙක් ලෙස වගකීම ඉටුකරමින් මේ වසර පහ අවසන් වෙද්දී සියලු ජනතාවගේ විශ්වාසය දිනාගත ජනාධිපතිවරයා බවට පත්වීම කළ යුතුව ඇතැයි හෙතෙම වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
(LNW)