Sunday, July 06, 2025
Follow Us
ජොනීගේ කෝටි 04 නඩුව කල් යයි

සතොස ආයතනයේ සේවකයන් දේශපාලන කටයුතුවල යෙදවීමෙන් රජයට රුපියල් කෝටි 04 ක පාඩුවක් සිදුකර ඇති බවට චෝදනා එල්ල කරමින් අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට එරෙහිව ගොනුකර ඇති නඩුව ජනවාරි 20 වැනිදා දක්වා කල් තැබීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද (29) නියෝග කළේය. මෙම නඩුව අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය හමුවේ විභාගයට ගැනිණි.

2010 සහ 2014 යන කාල සීමාව තුළ ස.තො.ස ආයතනයේ සේවකයින් 153 දෙනෙකු ඔවුන්ගේ නීත්‍යානුකූල රාජකාරිවලින් ඉවත් කර දේශපාලන ක්‍රියාකාරකම්වල යෙදවීම තුළින් රජයට රුපියල් කෝටි 04 ක පාඩුවක් සිදු කළ බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට එරෙහිව මෙම නඩුව ගොනුකර තිබේ.

ඇමතිවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණ ඉදිරියේ ප්‍රකාශ කළේ මෙම නඩුව අත්හිටුවීම සඳහා අභියාචනාධිකරණය විසින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කර ඇති බවයි. ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අධිකරණය නඩුව තවදුරටත් කල් තැබීමට තීරණය කළේය.

(LNW)