Thursday, August 20, 2026
Follow Us
ගුරුවරුන්ගේ වැටුප් සම්බන්ධයෙන් ඊයේ පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය සම්පූර්ණයෙන්ම අසත්‍යයක්- අගමැතිනිය

විදුහල්පතිවරුන් පත් කිරීමේ ක්‍රියාවලිය තවදුරටත් විධිමත් කිරීමට පියවර ගනිමින් පවතිනවා.- අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය -

විදුහල්පතිවරුන් පත් කිරීමේ ක්‍රියාවලිය දීර්ඝ කාලයක් විධිමත්ව සිදු වී නොමැති බැවින්, එය විධිමත් කිරීම සඳහා දැනට පවතින ක්‍රමවේදය සමාලෝචනය කිරීමට රාජ්‍ය සේවා කොමිෂන් සභාව සමඟ සාකච්ඡා කර අවශ්‍ය වෙනස්කම් සිදු කිරීමට අපේක්ෂා කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළාය.

පාසල් සඳහා විදුහල්පතිවරුන් පත් කිරීමේදී මූලික අධ්‍යාපන සුදුසුකම්වලට අමතරව වෙනත් කාර්යසාධක සුදුසුකම් සලකා බලන්නේද යන්න පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් විජේවීර විසින් යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළාය.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ වන මානව සම්පත් කළමනාකරණය පිළිබඳ කුළුණ යටතේ දැනට පවතින ක්‍රමවේදය සහ අදාළ සියලු චක්‍රලේඛ සමාලෝචනය කරමින්, විදුහල්පතිවරුන් තෝරා ගැනීමේදී හුදෙක් අධ්‍යාපනික සුදුසුකම්වලට පමණක් සීමා නොවී වෙනත් කාර්යසාධක කරුණුද සලකා බැලිය යුතු බවට රජය එකඟ වන බව අග්‍රාමාත්‍යවරිය පැවසුවාය.

විදුහල්පතිවරුන්ගේ ධාරිතා වර්ධනය සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් මේ වන විට පුහුණු වැඩසටහන් ගණනාවක් ක්‍රියාත්මක කරමින් පවතින බවත් ඔවුන්ගේ ධාරිතා වර්ධනය සඳහා විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමටත්, ජාතික අධ්‍යාපන ආයතනය හරහා අදාළ ආයතන ශක්තිමත් කිරීම සඳහා වැඩපිළිවෙළක් 2027 වසරේදී ක්‍රියාත්මක කිරීමටත් අපේක්ෂා කරන බව අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළාය.

මේ අතර, විපක්ෂ මන්ත්‍රීවරයකු විසින් මෙම මාසයේ ගුරුවරුන්ගේ වැටුප් නොලැබෙන බවට අගෝස්තු 19 වැනි දා පාර්ලිමේන්තුවේ දී සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන්ද අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය, එම ප්‍රකාශය සම්පූර්ණයෙන්ම අසත්‍ය බව අවධාරණය කළාය.

ගුරුවරුන්ගේ වැටුප් ලැබීම සම්බන්ධයෙන් කිසිදු ගැටලුවක් නොමැති බවත්, ඔවුන්ට නියමිත වේලාවට නියමිත පරිදි වැටුප් ලැබෙන බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පාර්ලිමේන්තුවේ දී වැඩිදුරටත් ප්‍රකාශ කළාය.