Monday, July 07, 2025
Follow Us
මහමැතිවරණයට පෙර අනතුරුදායක බෙදුම් රේඛාව මකා දැමිය යුතුයි - රවුෆ් හකීම්

ජනාධිපතිවරණයේදී ජනතාව ජන්දය භාවිතා කළ ආකාරය අනුව රටට අහිතකර අනතුරුදායක තත්වයක් නිර්මාණය වෙමින් පවතින ආකාරයක් පෙනී යන අතර එම ප්‍රතිඑලයෙන් පෙන්නුම් කරන පැහැදිලි බෙදුම් රේඛාව හා ජාතීන් අතර දුරස්ථභාවය නැති කිරීම සදහා කඩිනමින් පිළියම් යෙදිය යුතු බව ශ්‍රීලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතා පවසයි.

එසේ නොවුණහොත් මේ තත්වය ඉදිරි මහමැතිවරණයේදී තව තවත් වර්ධනය වී රට භයානක අනතුරකට පත් වනු ඇති බවද ඒ මහතා පවසයි.

ලංකා නිවුස් වෙබ් අඩවියට අද පෙරවරුවේ විශේෂ ප්‍රකාශයක් කරමින් ඒ මහතා මේ බව පැවැසීය.

එක්සත් ජාතික පක්‍ෂය ප්‍රමුඛ දේශපාලන කඳවුරට රටේ සිංහල බෞද්ධ ජන්ද බහුතරයක් නොලැබීමත් රාජපක්‍ෂ දේශපාලන කඳවුරට සුළු ජාතික ජන්ද අහිමි වීමත් පිළිබදව පුළුල් අවධානයක් යොමු කළ යුතු බවද ඒ තුළින් රට තුළ නිර්මාණය වෙමින් පවතින මෙම බෙදුම් රේඛාව මකා දැමිය හැකි යැයිද ප්‍රධාන දේශපාලන කඳවුරු දෙකම මේ පිළිබදව කඩිනමින් පුළුල් අවධානයක් යොමු කරනු ඇතැයි තමන් විශ්වාස කරන බවද රවුෆ් හකීම් මහතා සඳහන්කරයි.

“ජනාධිපතිවරණ ජන්ද ප්‍රතිඑලයෙන් රටේ ජාතීන්අතර දුරස්ථභාවයක් ඇති වී ඇති බවක් පෙනී යනවා.මේ දුරස්ථභාවය රටට අහිත කරයි.රට තුළ ජාතීන් අතර බෙදුම් රේඛාවක් ඇති වී ඇති බවක් පෙනී යනවා. එසේ සිදු වුයේ කුමන හේතුවක් නිසාද කියා එක්සත් ජාතික පක්‍ෂය ප්‍රමුඛ අපේ කදවුරත් සිතිය යුතුයි. ඒ වගේම තමන්ට සුළු ජාතීන්ගේ ජන්ද නොලැබෙන්නේ කුමන හේතුවක් නිසාද කියා රාජපක්‍ෂ කදවුරත් සිතිය යුතුයි. ජනාධිපතිතුමා රටට හිතකර බොහෝ වැඩ කටයුතු වලට අත ගසා තිබෙනවා. ඒවා අගේ කළ යුතුයි. නමුත් ඊටත් වඩා වැදගත් වන්නේ තමන්ගෙන් ඈත් වී ගෙන යන සුළු ජන කොටස් ගැන බැලීමයි. මහා සංඝරත්නයත් මේ පිළිබදව ජනාධිපතිතුමන් සමග සාකච්ජා කරනවා අපි මාධ්‍ය වලින් දැක්කා.

ජනාධිපතිවරයා මේ පිළිබදව අවධානයක් යොමු කරනු ඇතැයි අපි විශ්වාස කරනවා නමුත් ඒ දේවල් ගැන දන්නේ දෙයියෝ පමණක්ම බව හකීම් මහතා වැඩිදුරටත් කියාසිටියි.

(LNW)