Monday, July 07, 2025
Follow Us
චමල්ගේ ඇමතිකම මට දීලා කථානායකකම චමල්ටම දුන්නා නම් ඉවරයිනෙ - වාසු

මාස තුනක කෙටි කාලයක් සඳහා කථානායක තනතුර තමන්ට ලබාදෙන්නේ නම් එය භාරගැනීමට සූදානම් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පවසයි.

කථානායකවරුන්ට බාධා කරමින්, ඔවුන්ව අපහසුතාවන්ට පත් කරමින් දීර්ඝ කාලයක් තිස්සේ පාර්ලිමේන්තුව තුළ හැසිරුණු තමන්ට කථානායක වශයෙන් එවන් අසීරුතා විඳගැනීමට ලැබීම හොඳ අත්දැකීමක් වනු ඇති බවයි ඒ මහතා සඳහන් කළේ.

එහෙත් තමන් දේශපාලන චරිතයක් නිසාත් දේශපාලන ක්‍රියාකාරිකයකු ලෙස කටයුතු කිරීම තමන්ට සියල්ලට වඩා වටිනා නිසාත් වසර 5ක කාලයක් සඳහා නම් කථානායක තනතුර භාරගැනීමට තමන්ට නොහැකි බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

එසේම තමන් කථානායක තනතුරට පත් වුවහොත් කටයුතු කිරීමට බලාපොරොත්තු වන්නේ චමල් රාජපක්ෂ මහතා එම තනතුරේ කටයුතු කළ ආකාරය ආදර්ශයට ගනිමින් බව පැවසූ ඒ මහතා එනිසා, චමල් රාජපක්ෂ මහතාගේ ඇමති ධුරය තමන්ට ලබාදී ඒ මහතාවම කථානායක තනතුරට පත් කළේ නම් වඩා සුදුසු බව ද සඳහන් කළේය.

වාසුදේව නානායක්කාර මහතා මේ බව පැවසුවේ ඊයේ (24) පැවති මාධ්‍ය හමුවකදී නැඟුණු ප්‍රශ්න කිහිපයකට පිළිතුරු ලබා දෙමිනි.

(LNW)