Monday, July 07, 2025
Follow Us
මාව එළවන්න හදන්නෙ මෛත්‍රීට පාර්ලිමේන්තු එන්න, මම උසාවි යනවා - ෆවුසි

තමා ශ්‍රීලනිපයෙන් ඉවත් කර පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි කිරීමට ශ්‍රීලනිපය තීරණය කර ඇති බව වාර්තා වුවද ඒ සම්බන්ධයෙන් තමාට මෙතෙක් කිසිදු දැනුම්දීමක් සිදුකර නැතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.එච්.එම්. ෆවුසි මහතා පවසයි. එවැනි ක්‍රියාවක් සිදුවන්නේ නම් තමා ඊට එරෙහිව අධිකරණ ක්‍රියමාර්ග ගන්නා බවයි මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ.

ආණ්ඩු පක්ෂයට සම්බන්ධ වූ නමුත් තමා වෙනත් පක්ෂයක සාමාජිකත්වය නොගෙන තවදුරටත් ශ්‍රීලනිප සාමාජිකයෙකු ලෙස කටයුතු කරන බවත්, ඊට අදාල සාමාජික මුදල් පවා නිසි පරිදි ගෙවා ඇති බවත් ඔහු පවසනවා. ඒ නිසා තමා ශ්‍රීලනිපයෙන් ඉවත් කිරීමට කටයුතු කරන්නේ නම් එය නීතිවිරෝධී ක්‍රියාවක් බවයි ෆවුසි මහතා අවධාරණය කරන්නේ.

හිටපු ජනාධිපති, ශ්‍රීලනිප සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතාට පාර්ලිමේන්තුවට පැමිණීම සඳහා ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් දෙදෙනෙකුගෙන් ඉල්ලා අස් වන්නැයි ඉල්ලා ඇති නමුත් ඔවුන් දෙදෙනා ඊට එකඟ වී නොමැති බවත්, තමා නීතිවිරෝධී ආකාරයෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයෙන් ඉවත් කර හෝ හිටපු ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුවට පැමිණීමට අවස්ථාව ලබා ගැනීමට කටයුතු කරමින් සිටින බවත් ෆවුසි මන්ත්‍රීවරයා පවසනවා.

තමා කිසිවිටෙකත් මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස් නොවී ජනතාව වෙනුවෙන් සේවය කරන බව පෙන්වා දෙන මන්ත්‍රීවරයා පවසන්නේ ශ්‍රීලනිපය තමාව ඉවත් කිරීමට කටයුතු කළහොත් ඊට එරෙහිව නීතිමය පියවර ගන්නා බවයි.

(LNW)