හදිසි නීතිය ක්‍රියාත්මක කිරීම හරහා රටේ මර්දනයක් සිදුවන බවට විපක්ෂය එල්ල කරන චෝදනා පදනම් විරහිත බවත්, පසුගිය මාස තුනක කාලය තුළ එවැනි මර්දනයක් සිදුවූ එක් නිශ්චිත සිදුවීමක් හෝ පෙන්වා දෙන ලෙසත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.
අද (06) පාර්ලිමේන්තුවේදී හදිසි නීතිය සම්බන්ධයෙන් විපක්ෂය එල්ල කරන චෝදනාවලට පිළිතුරු ලබා දෙමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මේ බව සඳහන් කළාය.
අත්‍යවශ්‍ය සේවාවන් පවත්වාගෙන යාම සඳහා වන රෙගුලාසි පිළිබඳ විවාදයට එක්වෙමින් අග්‍රාමාත්‍යවරිය මෙසේද පැවසුවාය.
රජය විවේචනය කිරීමට හෝ විරෝධතා දැක්වීමට ඇති ප්‍රජාතන්ත්‍රවාදී අයිතියට කිසිදු බාධාවක් සිදු කර නැහැ.
"මර්දනය" කියන එක හුදු සංකල්පයක් ලෙස ජප නොකර, පසුගිය මාස තුන තුළ හදිසි නීති රෙගුලාසි යටතේ අසාධාරණ ලෙස අත්අඩංගුවට පත් වූ හෝ මර්දනයට ලක්වූ පුද්ගලයන් සිටී නම් ඔවුන් පිළිබඳ තොරතුරු ඉදිරිපත් කරන්න. සමාජ මාධ්‍ය හා පුවත්පත් හරහා රජය සහ ජනාධිපතිවරයා දැඩි ලෙස විවේචනය කරනවා, නමුත් ඒ කිසිවකට මර්දනය කරන්න රජය කටයුතු කළේ නැහැ.
පවතින ආපදා තත්ත්වයෙන් පසු ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීම සහ යටිතල පහසුකම් යළි ගොඩනැගීම සඳහා හදිසි නීති රෙගුලාසි අත්‍යවශ්‍යයි.
විශේෂයෙන්ම මාර්ග, පාසල් පද්ධතිය සහ අත්‍යවශ්‍ය සේවා බිඳවැටීමකින් තොරව පවත්වාගෙන යාමට මෙම නෛතික පසුබිම අවශ්‍ය වෙනවා.
ආපදාවට ලක්වූ ප්‍රවාහන පද්ධතිය (දුම්රිය මාර්ග ඇතුළු) සහ පාසල් ගොඩනැගිලි යළි සකස් කිරීමේදී, ඒවා පෙර තිබූ තත්ත්වයටම සැකසීම වෙනුවට අනාගත ආපදාවලට ඔරොත්තු දෙන පරිදි විද්‍යාත්මක ක්‍රමවේදයකට අනුව යාවත්කාලීන කරන්න අපිට ත්‍රිවිධ හමුදාවත් යොදා ගන්න වෙනවා මෙන්න මේ නිසයි අපි හදිසි නීතිය භාවිත කරන්නේ.
ආපදා සහන සහ ප්‍රතිසංස්කරණ කටයුතු අධීක්ෂණය සඳහා විශේෂ කාර්ය සාධක බලකායක් (Task Force) ජනාධිපතිතුමා පත් කර තිබෙනවා, ඒ වාර්තාව මේ මාසේ අපිට ලැබෙනවා ඒ අනුව කෙටි කාලීන, මධ්‍ය කාලීන සහ දර්ඝ කාලීන ලෙස රට නැවත ගොඩනැගීමේ කටයුතු විධිමත්ව සිදු කරනවා.
ඒ වගේම අපි දන්නවා. තවමත් සහන කඳවුරු වල රැඳී සිටින ජනතාව පිළිබඳව සොයා බලා ඔවුන් කඩිනමින් පදිංචි කරවීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස අදාළ බලධාරීන්ට උපදෙස් දී තියෙනවා.
දේශපාලන වාසි තකා "මර්දනය" යන වචනය භාවිත නොකර, ආපදාවට පත් ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක වන මෙම වැඩපිළිවෙලට සහාය දෙන ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙහිදී විපක්ෂයෙන් ඉල්ලා සිටියාය.