හෙට දිනයේදී රජය ඉල්ලා අස්වන බව වාර්තා වන අතර ඒ අනුව මීළඟ මහ මැතිවරණය දක්වා අන්තර්වාර රජයක් පිහිටුවීමට නියමිතය. ආණ්ඩු පක්ෂය නියෝජනය කරන එක්සත් ජාතික පක්ෂය හෙට සිට පාර්ලිමේන්තුවේ විපක්ෂයේ අසුන් ගනු ඇත
එජාපය විපක්ෂයේ අසුන් ගත්තද පක්ෂය තුළ තවදුරටත් අර්බුද මතුවෙමින් තිබේ. දැන් ප්‍රධානතම අර්බුදය වන්නේ විපක්ෂ නායකයා වන්නේ කවුරුන්ද යන්න පිළිබඳවයි.
රනිල් වික්‍රමසිංහ මහතා මේ වනවිටත් විපක්ෂ නායක ධුරය බලාපොරොත්තුවෙන් සිටින අතර කෙසේ වෙතත් එජාප මන්ත්‍රීවරුන් කණ්ඩායමක් පවසන්නේ ජනාධිපති අපේක්ෂකයා වූ සජිත් ප්‍රේමදාස මහතා විපක්ෂ නායකයා ලෙස පත් කළයුතු බවයි. සජිත් ප්‍රේමදාස මහතාට ජනාධිපති අපේක්ෂකත්වය ලබා ගැනීම සඳහා සටන් වැදුණු කණ්ඩායම මෙම තර්කය ඉදිරිපත් කරයි.
ඒ අනුව එජාපය විපක්ෂයට ගියද අර්බුදවල නිමාවක් නොමැත. හෙට දිනයේ සිට යළිත් එජාප නායකත්වය සම්බන්ධ ගැටලුව උත්සන්න වනු ඇති අතර මේ වනවිට හරීන් ප්‍රනාන්දු ඇතුළු මන්ත්‍රීවරුන් පිරිසක් ඒ සඳහා සූදානම් වෙමින් සිටී. ඔහු අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේ එජාපයේ වෙනස්කම් කිහිපයක් සිදුවිය යුතු බවයි. එම වෙනස්කම් සිදුවන තෙක් සජිත් ප්‍රේමදාස මහතා දේශපාලන කටයුතුවලින් ඈත් වී සිටින බවයි ඔහු පවසන්නේ.
හරීන් නොකියා කියන්නේ රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ නායකත්වයෙන් ඉවත් වියයුතු බවයි. එම මතවාදය මේ වනවිට පක්ෂය තුළ ශක්තිමත් වී ඇති අතර ඇතැම් මන්ත්‍රීවරුන් සෘජුවම පවසන්නේ පක්ෂ නායකත්වය විසින් හිතාමතාම සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරණයේදී පරාජයට පත් කිරීමට කටයුතු කළ බවයි.
(LNW)