Wednesday, June 18, 2025
Follow Us
ශ්‍රී ලංකා - නේපාල පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපති ධුරයට අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා තේරී පත් වෙයි

සෞඛ්‍ය, ජනමාධ්‍ය අමාත්‍ය සහ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා දසවන පාර්ලිමේන්තුව සඳහා වන ශ්‍රී ලංකා-නේපාල පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපතිවරයා ලෙස තේරී පත්විය.

උක්ත සංගමය ප්‍රතිස්ථාපනය කිරීමේ රැස්වීම ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (17) පාර්ලිමේන්තුවේදී  පැවැත්විණි. ශ්‍රී ලංකාවේ නේපාල තානාපති ආචාර්ය පූර්ණ බහදූර් නේපාලි මහතා මෙම අවස්ථාවට ගෞරවනීය ආරාධිත අමුත්තා ලෙස සහභාගී විය. මෙම අවස්ථාවට කාර්ය මණ්ඩල ප්‍රධානී සහ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා සහ නේපාල ෆෙඩරල් පාර්ලිමේන්තුවේ මහලේකම් පද්ම ප්‍රසාද් පාණ්ඩේ මහතා ඇතුළු නේපාල දූත පිරිසද සහභාගී වූහ.

එමෙන්ම ශ්‍රී ලංකා - නේපාල පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ ලේකම් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ අනුෂ්කා තිලකරත්න මහත්මිය  එහිදී තේරී පත් විය.

මෙහිදී අදහස් දැක්වූ කථානායකවරයා ශ්‍රී ලංකාව සහ නේපාලය අතර වසර 68ක දිගුකාලීන මිත්‍රත්වය ඉස්මතු කළ අතර, දෙරට අතර පවතින ආර්ථික, සංස්කෘතික සහ උපායමාර්ගික සහයෝගීතාව පිළිබඳව ද අවධාරණය කළේය. ප්‍රතිස්ථාපනය කරන ලද ශ්‍රී ලංකා - නේපාල මිත්‍රත්ව සංගමය, අධ්‍යාපනය, ආගමික, සංස්කෘතික සහ දෙරටේ ජනතාව අතර සබඳතා ප්‍රවර්ධනය කිරීම යන ක්ෂේත්‍රවල සහයෝගීතාව ශක්තිමත් කිරීම සඳහා සැලකිය යුතු දායකත්වයක් ලබා දෙනු ඇතැයිද තමන් විශ්වාස පළකරන  බව  කථානායකවරයා   තවදුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කළේය. 

ශ්‍රී ලංකාවේ නේපාල තානාපති ආචාර්ය පූර්ණ බහදූර් නේපාලි මහතා, නේපාල රජය සහ ජනතාව වෙනුවෙන් අලුතින් තේරී පත් වූ නිලධාරී මණ්ඩලයට සුබපැතුම් එක් කළේය. මෙම මිත්‍රත්ව සංගමය විශේෂයෙන් ප්‍රතිපත්තිමය සංවාද, දැනුම හුවමාරුව සහ අන්තර් පුද්ගල සම්බන්ධතා තුළින් ද්විපාර්ශ්වික සබඳතා වැඩිදියුණු කිරීමට මග පාදන බවද ඔහු අවධාරණය කළේය. එමෙන්ම නේපාල බෞද්ධ භික්ෂු ශිෂ්‍යයන්ට ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනය හැදෑරීමට අවස්ථාව ලබා දීම පිළිබඳවද ඔහු ශ්‍රී ලංකා රජයට සිය කෘතඥතාව පළ කළේය.

ශ්‍රී ලංකා-නේපාල පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ අභිනව සභාපති අමාත්‍ය (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා සිය අදහස් දක්වමින්  තමා කෙරෙහි තැබූ විශ්වාසයට සහ සංගමයේ සභාපති ධුරයට තමා තෝරා පත් කර ගැනීම පිළිබඳව සිය කෘතඥතාව පළ කළේය. දෙරට අතර මිත්‍ර සබඳතා ශක්තිමත් කිරීම සඳහා මිත්‍රත්ව සංගමය ඔස්සේ කටයුතු කිරීමට තමා කැපවී සිටින බව ඔහු තවදුරටත් ප්‍රකාශ කළේය.

සංගමයේ අභිනව ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ අනුෂ්කා තිලකරත්න මහත්මිය  සිය ස්තූති කතාව පවත්වමින්, සංගමයේ ක්‍රියාකාරකම් සඳහා ශ්‍රී ලංකාවේ නේපාල තානාපතිවරයාගේ අඛණ්ඩ සහයෝගය වෙනුවෙන් සිය කෘතඥතාව පළ කළේය.