Friday, June 06, 2025
Follow Us
චන්ද්‍රාණී බණ්ඩාරට අධි චෝදනා

යහපාලන රජය සමයේ කාන්තා හා ළමා කටයුතු සහ වියලි කලාප සංවර්ධන අමාත්‍යවරිය ලෙස කටයුතු කළ හිටපු අමාත්‍ය චන්ද්‍රාණි බණ්ඩාර මහත්මියට කොළඹ මහාධිකරණය හමුවේ අද (06) අධි චෝදනා භාර දී තිබෙන බව වාර්තා වෙයි.

චන්ද්‍රාණි බණ්ඩාර අමාත්‍යවරිය ලෙස කටයුතු කරමින් සිටියදී නිත්‍යානුකූල ක්‍රමවේද අනුගමනය නොකර එච්. එම්. චන්ද්‍රවංශ නමැති අයෙකු වියළි කලාප සංවර්ධන අමාත්‍යාංශයේ ව්‍යාපෘති අධ්‍යක්ෂ ධුරයට පත්කිරීම සහ සිය හිතවතුන් පිරිසක් නීත්‍යානූකූල නොවන ආකාරයට විවිධ තනතුරුවලට පත්කිරීම සම්බන්ධයෙන් ඇයට මෙම අධිචෝදනා භාරදීම සිදු වී තිබෙන බවයි වාර්තා වන්නේ.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් හිටපු අමාත්‍යවරියට එරෙහිව මෙම අධිචෝදනා ගොනුකිරීම සිදුකර ඇත්තේ අල්ලස් පනතේ 'දූෂණය' නම් වරද යටතේය.

 ඒ අනුව මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා ඉදිරියේ මෙම අධිචෝදනා භාරදීම සිදුවූ අතර පසුව විත්තිකාරිය රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැර තිබෙන බව වැඩිදුරටත් වාර්තා වෙයි.