Sunday, May 04, 2025
Follow Us
ආසියාව ගෝලීය ආර්ථිකයේ බලවතා වෙමින් යනවා, ඒ තුළ අපි කොතනද ස්ථනගත වෙන්න ඕනේ කියලා තීරණය කරන්න ඕන- අගමැතිනි

අක්‍රමිකතාවලින් ලාභ ලබපු අය ⁣රජය සිදුකරන පරිවර්ථනයට විරුද්ධයි.

ඔබ මුහුණ දෙන ප්‍රශ්නවලට පැලැස්තර වෙනුවට ස්ථිර විසඳුම් දෙන්න රජයට වැඩ පිළිවෙළක් තිබෙනවා.

-අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

අක්‍රමිකතා සිදුකරමින් ලාභ ලැබූ පිරිස රජය සිදු කරන පරිවර්ථනයට විරුද්ධ බවත්, ජනතා ප්‍රශ්නවලට පැලැස්තර වෙනුවට සිථිර විසඳුම් දෙන්න රජයට වැඩපිලිවෙලක් තිබෙන බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

කඩුවෙල සහ දෙහිවල,ගල්කිස්ස මහා නගරසභා කේන්ද්‍ර කර ගනිමින් අද (03) පැවති ජනහමු අමතමින් අග්‍රාමාත්‍යතුමිය මේ බව පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය,

අපි රට භාරගන්නකොට රටේ තිබුණ තත්ත්වය ඔබ දන්නවා. දේශපාලන සංස්කෘතිය පමණක් නෙමෙයි. ඒ හා සමානම වෙනසක් රාජ්‍ය සේවය තුළත් අවශ්‍යයි. ඒක දැන් අපි සිදු කරමින් යනවා.

ගංවතුරට අපිට තියන එකම ක්‍රමවේදය සහන සේවා දෙන එක වෙලා. ඒක නෙමෙයි වෙන්න ඕන ගංවතුර අවම කරන්න පාලනය කරන්න ක්‍රමවේද ඕන. රටේ හැම ප්‍රශ්නෙකටම වෙලා තිබෙන්නේ ඒක. පැලැස්තර දානවා නමුත් නිසි ක්‍රමවේදයකට විසඳලා නෑ. රාජ්‍ය සේවයත් ඒකට හුරුවෙලා.

අක්‍රමිකතා තියන සංස්කෘතියක් තුළ ක්‍රමවේදයකට යනකොට ඒ අක්‍රමිකතාවලින් පැවතෙන පිරිස හරි ක්‍රමවේදයට ආවම එයිනුත් පාඩුවක් වෙන කට්ටිය ඉන්නවා. ඒ අය මේ පරිවර්තනය කරන්න දෙන්නේ නෑ.

කෙහොම උනත් පවතින ක්‍රමවේදයෙන් මේ රට ගෙනියන්න බෑ. වැරදි ක්‍රමවේද නිසයි මේ රටේ ආර්ථිකය මේ තරම් බිඳ වැටුණේ. ඒ තත්වය වෙනස් කරලා සැලසුම් සහගත ක්‍රමවේදයකට රජය කටයුතු කරගෙන යනවා ඒ නිසයි දැන් ආර්ථිකය යම් තරමකට ස්ථාවර වෙලා තිබෙන්නේ. ආර්ථිකයේ සිදුවන වෙනස් වීම්වලට ඔරොත්තු දෙන්න පුලුවන් විදිහට අපි මේ ක්‍රමවේද හදාගෙන යනවා.

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගත්ත තීරණ අනුව යුරෝපය වගේම ආසියාවත් කැළඹී තිබෙනවා. ආර්ථිකය ඉදිරියට ගෙනියන්නේ මේ මේ රටවල් කියලා අපි සම්ප්‍රදායිකව හිතාගෙන හිටපු එක වෙනස් වෙමින් යනවා. නමුත් ඒ තුළත් ආර්ථික අවස්ථාවන් නිර්මාණය වෙනවා. ගොලීය ආර්ථිකයේ බලවතා බවට ආසියාව පත්වෙමින් යන්නේ. එහෙම නම් ඒ ආර්ථිකය තුළ අපි කොතනද ස්ථානගත වෙන්න ඕන කියලා තීරණය කරන්න ඕන. ඒකට අපේ රට ජාත්‍යන්තර සබඳතා හරියට කළමනාකරණය කරන්න ඕන. විනිවිදභාවයෙන් යුතු ක්‍රමවේද සකස් කරගන්න ඕන. ඒ ආකාරයට ස්ථාවර වෙන එක තමයි අපේ අරමුණ.

ගුරු පුරප්පාඩු පුරවන්න තාම බැරිවෙලා. සැළසුමක් නැතුව හිතෙන හිතෙන දේවල් කරලා විශාල අර්බුධයක් මේ වනවිට නිර්මාණය කරලා තිබෙනවා. මේ රටේ හැම ප්‍රශ්නෙකටම වෙලා තියෙන්නේ ඒක මතුපිටින් විසදුම් දීලා නමුත් ප්‍රශ්නේ හරියට විසඳිලා නෑ. තවත් රජයකට ප්‍රශ්න ඉතිරි නොවෙන්න ක්‍රමවේදයකට වැඩ කරන්න ඕන.

ශිෂ්‍යත්වය අද ප්‍රශ්නයක් වෙලා ඒකට හේතුව ශිෂ්‍යත්වය ලබා ගන්න නෙමෙයි පහසුකම් තියන පාසලකට දරුවා මාරු කරන්න. මේක විසදන්න නම් පාසල් අතර විෂමතාව නැති කරන්න ඕන. ඒකට අවශ්‍ය කටයුතු අපි දැන් ආරම්භ කරලා තිබෙනවා. ඒ සියල්ල සැලසුම් සහගතව රජය කරගෙන යනවා.

රටේ ජනතාව මුහුණ දෙන ප්‍රශ්න හදුනාගෙන කෙටිකාලීන වගේම දිගුකාලීන විසඳුම් නිරිමාණය කරමින් යනවා. ජාත්‍යන්තරය තුළ විශ්වාසය දිනාගෙන, ආයෝජකයන් ගෙන්වා ගනිමින් පියවරෙන් පියවරට අපි ඉදිරියට යනවා.

පොලීසියට නීතිය හරියට ක්‍රියාත්මක කරන්න පැවතුණ දේශපාලන සංස්කෘතිය තුළ ලොකු බාධා ඇති වුණා. දැන් ඒ සියල්ල නිවැරදි වෙමින් යනවා.

යහපත් දේශපාලන සංස්කෘතියක් තුළ රට සංවර්ධනය කරන වැඩ පිළිවෙලට ජනතාවගේ සහය ඉතා වැදගත් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අසිත නිරෝෂන්, කෞෂල්‍යා ආරියරත්න, සමන්මලී ගුණසිංහ ඇතුළු කඩුවෙල හා දෙහිවල ගල්කිස්ස මහ නගර සභා අපේක්ෂකයින් ප්‍රදේශවාසීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.