- ලැබී ඇති අවස්ථාව කිසිසේත් මගහැර ගන්නේ නැහැ: මෙරට ආර්ථිකයේ තීරණාත්මක හැරවුමක් සනිටුහන් කරනවා
- රට දින වීමේ ගමනට අකුල් හෙළු පිරිසක් ලෙස ඉතිහාසයට එක් නොවී එහි පංගුකරුවන් වන්න- ජනපති පාර්ලිමේන්තුවේදී පවසයි
ජාතික ජන බලවේගයේ ආණ්ඩුවේ ගෙවී ගිය මාස 04 තුළ රට සුබවාදී අනාගතයක් කරා ගෙන යා හැකි බවට වන විශ්වාසය ඇති කළ හැකි මට්ටමේ ආර්ථික ස්ථාවරත්වයක් රට තුළ නිර්මාණය කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
ඒ අනුව ආර්ථික ජයග්‍රහණ රැසක් රටට උදා කර දී ඇති බව පැවසූ ජනාධිපතිවරයා රාජ්‍ය ආදායම ඉහළ නංවා ගැනීමට මෙන්ම විදෙස් සහාය ඇතිව ආරම්භ කරන ලදුව අතරමග නැවතී තිබු සංවර්ධන ව්‍යාපෘති රැසක්ද යළි ආරම්භ කරමින් ස්ථාවරත්වයේ සංඥාව රටට ලබා දී ඇති බව සඳහන් කළේය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කර සිටියේ ඊයේ (21) පාර්ලිමේන්තුවේදී අයවැය තෙවන වර කියැවීමේ විවාදයට එක් වෙමිනි.
රට ඉදිරියට ගෙන යාමේ මෙම වැඩපිළිවෙළට අකුල් හෙළමින් දේශපාලනය කිරීමට කිසිවෙකු සිතන්නේ නම් ඔවුන් දේශපාලනයෙන් අවලංගු වන බව පැවසූ ජනාධිපතිවරයා අද මෙරට සියලු දේශපලනඥයන්ට ඇති එකම මාවත රජයේ වැඩපිළිවෙළට අනුගත වීම සහ ආශිර්වාද කිරීම පමණක් බවද කීය.
එසේම මාධ්‍ය විසින් දේශපාලනය කළ යුගය අවසන් බවත්, එම යුගය යථාර්ථයක් වූවා නම් වත්මන් ආණ්ඩුව බලයට පත් නොවන බවත් පැවසූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වත්මන් ආණ්ඩුව සෑම විටම ජනතාව සමග සංවාදයේ යෙදෙන දේශපාලන ව්‍යාපාරයක් බවද පැවසීය.
ඉතිහාසයේ රට ගොඩනැගීමට ලැබුණු අවස්ථා බොහොමයක් ජාතියක් ලෙස අප මහගැර ගත් බවද සිහිපත් කළ ජනාධිපතිවරයා, අද රටට ලැබී ඇති අවස්ථාව ජනාධිපතිවරයා ලෙසත්, ආණ්ඩුව ලෙසත් කිසිසේත් මගහැර නොගන්නා බවත්, මෙරට ආර්ථිකයේ තීරණාත්මක හැරවුමක් සනිටුහන් කරන බවත් අවධාරණය කළේය.
තමන්ට හෝ ආණ්ඩුවේ කිසිදු ඇමතිවරයෙකුට පුද්ගලික අභිලාෂ නොමැති අතර ඇත්තේ රටත්, ජනතාවත් පිළිබඳ සුබ සිහිනයක් බව පැවසූ ජනාධිපතිවරයා නියත වශයෙන්ම එම සිහිනය මල්ඵල ගන්වන බවත් එම වැඩපිළිවෙළට අකුල් හෙළු පිරිසක් ලෙස ඉතිහාසයට එක් නොවී රට දින විමේ ගමනේ පංගුකරුවන් වන ලෙස තමා විපක්ෂයේ සියලුදෙනාට ආරාධනා කරන බවත් පැවසීය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා මෙසේද පැවසීය -
මෑත කාලයේ පාර්ලිමේන්තුව තුළ දීර්ඝතම කාලයක් අයවැය විවාදයට ගැනුණු පළමු අවස්ථාව මෙයයි. මීට පෙර අයවැය විවාදයේදී අදාළ දින ගණනවත් ලබා දුන්නේ නැහැ. එහෙත් අපි සම්පූර්ණ දින ගණන ලබා දී විවාදයක් පැවැත්වුවා. එම විවාදය දෙස බලා සිටින විට වේදනාවෙන් ඉදිරිපත් කළ කරුණු තිබුණා. ඒ වගේම කෝපයෙන් ඉදිරිපත් කළ කරුණු තිබුණා. සමහර ඒවා සාධනීය කරුණු වුණා. වේදනාවට පත්වීම හෝ කෝපයට පත් වීම පිළිබඳව අපිට පුදුමයක් නැහැ. හන්තානේ ඉඩම් අහිමි වන විට වේදනාවට පත් වීම අපට අලුත් දෙයක් නොවෙයි. දුකක් තිබෙනවා. ජනාධිපති ලේකම් කාර්යාලයේ ඒ ලිපිලේඛන තිබෙනවා. අපිට ඒ වේදනාව සහ කෝපය තේරුම් ගත හැකියි. එහෙත් සාධනීය කරුණුවල යහපත් දේ උකහා ගැනීමටත්, අයහපත් දේ ප්‍රතික්ෂේප කිරීමටත් අපි සූදානම් බව කිව යුතුයි.
අපි මේ රටේ පැවති ආර්ථික ක්‍රමය තීරණාත්මක ලෙස නව හැරවුමකට ලක් විය යුතු බවට විශ්වාස කරන හා ඒ වෙනුවෙන් වැඩ කරන දේශපාලන ව්‍යාපාරයක්. ඒ වගේම එම නව හැරවුම ගන්නේ කොහොමද කියන අවබෝධය අපට තිබෙනවා. ඉතාමත් යහපත්, අර්බුදවලින් තොර ආර්ථිකයක් අප සතුව තිබෙනවා නම් එම හැරවුම ඉතා වේගවත් හැරවුමක් වෙනවා. එහෙත් ආර්ථිකය තිබෙන්නේ ඉතා අසීරු තත්ත්වයක නම් එම හැරවුම යම් කාලයක් ගෙන සැලසුම් සහගතව කළ යුතු දෙයක්.
ඒ නිසා ඔබ දක්වන කලබලය අපට ඉතා හොඳින් තේරුම්ගත හැකියි. මේ රටේ දීර්ඝ කාලයක් පුරා අනුගමනය කරමින් තිබු ආර්ථික ප්‍රතිපත්තිය වෙනුවට රටටත්, ජනතාවටත් හිතකර ආර්ථිකයක් ගොඩනැඟීමට අවශ්‍ය තීරණාත්මක හැරවුම අප විසින් ගනු ලබනවා. එම හැරවුම ගැනීමට නම් අප පළමුව කළ යුත්තේ රටේ ආර්ථිකය ස්ථාවර මට්ටමකට ගෙන ඒමයි. එහෙත් අර්බුද ගණනාවකට මුහුණ දී තිබෙන ආර්ථිකයක් විශාල හැරවුම්වලට ඔරොත්තු දෙන්නේ නැහැ. රෝද ගිලිහුණු රථයකට හැරවුම් ගන්න බැහැ. මුලින් රෝද සවි කළ යුතුයි. ඒ නිසා අපි ඉතාමත් සැලසුම්සහගත ලෙස රටේ ආර්ථිකය ඉදිරියට ගෙන යාමට කටයුතු කරනවා.
අපට ලැබුණේ බංකොලොත් බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කෙරුණු රාජ්‍යයක්. නිල වශයෙන් පමණක් නොව යථාර්ථයේදීත් බංකොලොත් රාජ්‍යයක්. ඒ වගේම රටේ ආදායම් සහ වියදම් අතර විශාල පරතරයක් තිබුණා. මුළු ආදායම ලෙස බිලියන 4999ක් අපේක්ෂා කරන විට පොලිය ගෙවීම සඳහා පමණක් බිලියන 2950ක් අවශ්‍ය වුණා. රාජ්‍ය සේවකයන්ගේ වැටුප් ගෙවීම සඳහා බිලියන 1352ක්ද , විශ්‍රාම වැටුප් ගෙවීම සඳහා බිලියන 442ක්ද අවශ්‍යයි. මුළු ආදායම බිලියන 4990ක් වන විට පොලිය ගෙවීම, රාජ්‍ය වැටුප් ගෙවීම, විශ්‍රාම වැටුප් ගෙවීම සඳහා බිලියන 4744ක් වැය වෙනවා. ඉතිරි වන්නේ බිලියන 246යි. මෙම ආර්ථික තත්ත්වය කඩිමුඩියේ හැර විය හැකි එකක් නොවෙයි.
එපමණක් නොව, විශාල ණය බරකින් පෙළෙන, වාර්ෂිකව විශාල ලෙස පාඩු ලබන රාජ්‍ය ආයතන සමූහයක් මේ රටේ තිබෙනවා. ජාතික රූපවාහිනී සංස්ථාවේ පසුගිය වසරේ පාඩුව මිලියන 256යි, ණය මිලියන 1834යි. ගුවන් විදුලි සංස්ථාවේ පසුගිය වසරේ පාඩුව මිලියන 152ක් වන විට මිලියන 1603ක් ණය තිබෙනවා. ස්වාධීන රූපවාහිනි ආයතනයේ මිලියන 1476ක ණය තිබෙනවා. ලංකා සීනි සංස්ථාව මිලියන 11,165ක් ණයයි. රාජ්‍ය වැවිලි සංස්ථාව මිලියන 3216ක්ද, මිල්කෝ ආයතනය මිලියන 15,090ක්ද, එයාර් ලංකා ආයතනය බිලියන 340කට ආසන්න ප්‍රමාණයකින් ණය තිබෙනවා.
මේ අන්දමින් උපයා ගනු ලබන ආදායම මා පෙර ප්‍රකාශ කළ ශිර්ෂ පාඨයන්ට පමණක් ප්‍රමාණවත් වන ආදායමක් සහ ආදායම ඉතා අතළොස්සක් අතර සංකේන්ද්‍රණය වූ රාජ්‍යයක් තමයි අපට ලැබුණේ. ඒ වගේම රටේ ආර්ථිකයට දායක වන කණ්ඩායම ඉතා කුඩා කණ්ඩායමක්. අපේ අපනයන ආදායමින් 90%ක් උපයනු ලබන්නේ අපනයනකරුවන් 10%ක පිරිසක් වීම ඊට නිදසුනක් ලෙස පෙන්වා දිය හැකියි. දේශීය ආදායම් දෙපාර්මේන්තුවේ ආදායමින් 69%කට වැඩි ප්‍රමාණයක් ලබා දෙන්නේ ලිපිගොනු 600කට ආසන්න ප්‍රමාණයක්.
ඒ වගේම අපි ලෝකය හමුවේ බංකොලොත්භාවයට පත් වූ රාජ්‍යයක් බවට පත්ව තිබුණා. ණය මුදලක් ලබා ගත නොහැකි, බැංකු පද්ධතිය කෙරෙහි විශ්වාසය බිඳ වැටුණු රාජ්‍යයක් බවට පත්ව තිබුණා. එබැවින් අප පළමුව කළයු තුව තිබුණේ රට තුළ ආර්ථික ස්ථාවරභාවය නිර්මාණය කර ගැනීමයි. ආර්ථික ස්ථාවරභාවය නිර්මාණය කර ගැනීමෙන් තොරව නව හැරවුමක් ගැනීමටද අප සූදානම් නැහැ. ආර්ථික ස්ථාවරභාවයක් අත්පත් කර නොගෙන ගනු ලබන සෑම ආර්ථික හැරවුමක්ම අහිතකර ප්‍රතිවිපාක ගෙනැවිත් තිබෙනවා.
අපි ආණ්ඩුව භාර ගන්නා විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වසර 04ක විස්තීරණ ණය වැඩසටහනකට ඇතුළත් වී තිබුණා. අප කළ යුතුව තිබුණේ මෙම වැඩසටහන ඉදිරියට ගෙන යාම හෝ එය අතහැරීමයි. එය අතහැරීම සියලුදෙනා අපේක්ෂා කළ නමුත් අපි ඒ උගුලේ වැටුණේ නැහැ. මොකද, අපි දන්නවා රටේ ආර්ථික තත්ත්වය අනුව අපි කුඩා ප්‍රමාණයකින් කර ගන්නා අත්වැරැද්දක් බරපතළ ආර්ථික ප්‍රතිවිපාක ගෙනැවිත් දෙන බව. එබැවින් විනාශයට පත් වූ ආර්ථිකයක් යළි ස්ථාවර කිරීමේදී ආණ්ඩුවක් ලෙස අපේ වගකීම වන්නේ කුඩා ප්‍රමාණයක හෝ අත්වරද්දා ගැනීමක් සිදු නොකිරීමයි.
ඒ අනුව අපේ පළමු අභිප්‍රාය වූයේ රට තුළ ආර්ථික ස්ථාවරභාවය නිර්මාණය කිරීමයි. අද රට තුළ ආර්ථිකය ස්ථාවරත්වයක් නොමැති බවට කිසිවෙකුට චෝදනා කළ නොහැකියි. මෙම ආර්ථික ස්ථාවරත්වය නිර්මාණය කර ගැනීමට අපි දැඩි උත්සායක් දැරූ බව මා ප්‍රකාශ කළ යුතුයි.
එහි පළමු පියවර තබමින් පසුගිය දෙසැම්බර් 21 වෙනි දා අපේ රට නිල වශයෙන් බංකොලොත්භාවයෙන් නිදහස් වුණා. අපි එතෙක් පැවතියේ ණය පැහැර හරින ලද රාජ්‍යයක් ලෙසයි. එහෙත් අපි දැන් ණය නොගෙවන නමුත්, ණය නොගෙවන බවට එකඟතාවට පැමිණි රාජ්‍යයක්. ණය ආපසු ගෙවීම සඳහා අපි 2028 වසර තෙක් කාලය ලබා ගෙන තිබෙනවා.
ඒ වගේම බංකොලොත්භාවයට පත් වූ රටක් ලෙස අපේ රටට විශාල හානියක් සිදු වුණා. ඒ නිසා විදෙස් ආධාර මත මෙරට ක්‍රියාත්මක වූ සංවර්ධන ව්‍යාපෘති රැසක් අතරමග නතර වුණා. අපේ රට බංකොලොත්භාවයෙන් නිදහස් කර ගැනීමෙන් පසු එම ව්‍යාපෘති නැවත ආරම්භ කිරීමට අදාළ රටවල් තීරණය කර තිබෙනවා. එය මෙරට ස්ථාවරත්වයේ සංඥාවක් බව කිවයුතුයි.
එසේම මෙම අප්‍රේල් 05 වෙනි දා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ මෙරට සංචාරයත් සමග සාම්පූර් බලාගාරයේ කටයුතුද ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා.
ඒවගේම සියඹලාණ්ඩුව ප්‍රදේශයේ නව සූර්ය බලාගාරයක් සහ මන්නාරමේ සුළං බලයෙන් විදුලිය නිෂ්පාදනය කෙරෙන මෙගා වොට් 50ක බලාගාරයක් ඉදිරි මාස දෙකක කාලය තුළ ආරම්භ කිරීමට නියමිතයි.
ආර්ථික වශයෙන් අස්ථාවර වී තිබූ රටක් අපි මේ අයුරින් ස්ථාවරභාවයට ගෙනැවිත් තිබෙනවා. ව්‍යාපාරිකයන්, ආයෝජකයන් මෙන්ම විදෙස් මූල්‍ය සමාගම්වලට අපේ රටේ මූල්‍ය තත්ත්වය පිළිබඳ තිබු අවිශ්වාසය අපි නැති කර තිබෙනවා. අද ඩොලරය රුපියල් 300ට ආසන්න ප්‍රමාණයෙන් අඛණ්ඩව ස්ථාවර කර තිබෙන අතර මෙම තත්ත්වය රට තුළ ඇති ව තිබෙන්නේ වසර 03කට පසුවයි.
ඒ වගේම අපේ රට ණය අවදානම් රාජ්‍යයක සිට ණය අවදානම අඩු රාජ්‍යයක් බවට පත් කර තිබෙනවා. ඒ වගේම අපේ බැංකු පද්ධතිය කෙරෙහි විශ්වාසය යළි ඇති කර තිබෙනවා. එපමණක් නොව බැංකු පොලී අනුපාත තනි ඉලක්කමකට ගෙනවිත් තිබෙනවා. මේ වසරේ මැද භාගය වන විට ධන උද්ධමනයක් ලබා ගැනීමටද අපි අපේක්ෂා කරනවා. මෑත ඉතිහාසයේ විදෙස්ගත ශ්‍රමිකයන්ගෙන් ලැබුණු වැඩිම මුදල් ප්‍රමාණය පසුගිය මාස දෙක තුළ රටට ලැබුණා. එයින් පෙන්නුම් කරන්නේ රටේ ආර්ථිකය පිළිබඳ විශ්වාසය තහවුරු වෙමින් පවතින බවයි.
එපමණක් නොවෙ මේ වන විට සංචාරකයන් විශාල වශයෙන් අපේ රටට පැමිණෙමින් සිටිනවා. මෙම මාර්තු 17 වන දා වන විට හය ලක්ෂ දස දහසක් ඉක්මවන ලද සංචාරකයන් ප්‍රමාණයක් ලංකාවට පැමිණියා. ඒ වගේම මේ වසර ලංකා ඉතිහාසයේ වැඩිම සංචාරකයන් ප්‍රමාණයක් මෙරටට පැමිණි වසර බවට පත් වන බවට අපි ඔබට සහතික වෙනවා.
ඇස්තමේන්තුගත ආදායම සහ සත්‍ය ආදායම අතර පැවති වෙනස්කම් මේ පාර්ලිමේන්තුවේදී අපි ඕනෑ තරම් දැක තිබෙනවා. එහෙත් 2024 වසරේ ඇස්තමේන්තුගත ආදායමට සමාන ආදායමක් රේගු දෙපාර්තමේන්තුව විසින් අපට ලබා දුන්නා. අපි දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ ආදායම ලෙස අපේක්ෂා කළේ බිලියන 356යි. එහෙත් මාර්තු 17 වන දා වන විට බිලියන 438ක ආදායමක් අපට ලැබී තිබෙනවා. ඒ වගේම ජනවාරි මාසයේ රේගු දෙපාර්තමේන්තුවේ ආදායමත් ඇස්තමේන්තුගත ආදායමට වඩා වැඩි වී තිබෙනවා.
එසේම මේ වර්ෂයේ අපේක්ෂා කරන ආදායමට වඩා වැඩි ආදායමක් ලබා ගැනීමට අපි පොර බදනවා. මෙම ආර්ථික ස්ථාවරභාවය රටට අවශ්‍යයි. මෙම ස්ථාවරභාවය අත්පත් කර නොගෙන ආර්ථිකයේ විශාල හැරවුම් ගත නොහැකියි. එදා පෞද්ගලික ව්‍යවසායකයින්ට අපේ රටේ ආර්ථිකය පිළිබඳ විශ්වාසයක් තිබුණේ නැහැ. ආර්ථිකයට සම්බන්ධ කණ්ඩායම් අතර විශ්වාසය තහවුරු කර නොගෙන ඉදිරියට යන්න බැහැ. හැඟීමට රටේ ආර්ථිකය පාලනය කළ නොහැකි අතර දත්ත මත, ඒ මත සිදු කරන විශ්ලේෂණයන් සහ එම විශ්ලේෂණ මතින් ගනු ලබන නිගමනයන් මත අපි රටේ ආර්ථිකය හසුරවමින් සිටිනවා.
මෝටර් රථ ආනයනය කිරීම සඳහා ගත් තීන්දුව ඉතා අවධානමක් සහිත තීන්දුවක්. ඒ පිළිබඳ දිනපතා සමාලෝචනය කරමින් අදාළ ඉලක්ක කරා ගමන් කිරීමට අපි කටයුතු කරනවා.
ඔබ අවශ්‍ය තරම් දේශපාලනය කරන්න. එහෙත් ආර්ථිකය අස්ථාවර කිරීමට හේතු වන අසත්‍ය කරුණු සමාජගත කරන්න එපා කියා අප ඔබෙන් ඉල්ලනවා. ආර්ථික විශේඥයන් ලෙස නාමකරණයන් තිබෙන අය මෙහි සිටිනවා. ඔවුන් සිදු කරන ප්‍රකාශ වගකීමක් සහිත ප්‍රකාශ විය යුතුයි. මොකද එවැනි ප්‍රකාශයකින් යළි අපේ රටේ මූල්‍ය වෙළෙඳපොළේ විශාල අස්ථාවරභාවයක් නිර්මාණය කළ හැකියි. රටේ ආර්ථිකය ස්ථාවර කිරීම ආණ්ඩුවක් ලෙස අපේ පමණක් වගකීමක් නොවන අතර මෙය පුරවැසියන් ලෙස සහ මහජන නියෝජිතයන් ලෙස අප සියලුදෙනා එක්ව ඉටු කළ යුතු වගකීමක්.
අපි දේශපාලන පිටියේ ඕනෑ තරම් වාද කරමු. එහෙත් ආර්ථිකයට අවදානම් සහිත අසත්‍ය කරුණු සමාජගත කරන්න එපා කියන ඉල්ලීම මම නැවතත් ඔබෙන් සිදු කරනවා. ඉතා සුමටව ගලා යන ආර්ථිකයකට නම් එවන් ප්‍රකාශවලින් බරපතළ හානියක් සිදු වන්නේ නැහැ. එහෙත් කඩාවැටුණු ආර්ථිකයක් ඉතා ප්‍රවේශමින් ස්ථාවරභාවය කරා ගෙන යමින් තිබෙන අවස්ථාවක ඒ පිළිබඳ සැකයක් ඇති කරන්න එපා. ඔබට කොතැනක හෝ සැකයක් තිබෙනවා නම් අපි සාකච්ඡා කරමු. සැකය මත කරුණු අවිචාරාත්මකව එළියට කියන්න එපා. මෙය රටේ ආර්ථිකය ස්ථාවර කර ගැනීම වෙනුවෙන් අපි සියලුදෙනා වගකීමෙන් හැසිරිය යුතු අවස්ථාවක් බව කිව යුතුයි.
ඒ වගේම රටේ ආර්ථිකය ස්ථාවර වන තුරු පුරවැසියන්ගේ ජීවිත අයාලේ ගලාගෙන යාමට අපට ඉඩ දිය නොහැකියි. රටේ නිෂ්පාදන දිරි ගැන්වීමට මෙන්ම සාමාන්‍ය ජනතාවගේ ජීවිත සුරක්ෂිත කර ගැනීම සඳහා අවශ්‍ය වන සහන ලබා දීමට අප ක්‍රමානුකූලව කටයුතු කරනවා. ඒ අනුව පොහොර සහනාධාරය රුපියල් 15,000 සිට 25,000 දක්වා වැඩි කිරීමට අපි කටයුතු කළා. ඒ වගේම කුඹුරුවල වගා කරන අතිරේක බෝග සඳහාද රුපියල් 15,000ක පොහොර සහනාධාරය ලබා දීමට අපි පසුගිය කැබිනට් මණ්ඩලයේදී තීරණය කළා. ඒ වගේම අස්වැසුම ප්‍රතිලාභ වැඩි කර තිබෙනවා. ජනතාව බලා ගැනීමේ වගකීම අප කිසිසේත් අත්හරින්නේ නැහැ.
පාසල් දරුවන් ලක්ෂ 16කට පාසල් පොත් සහ උපකරණ ලබා දීම වෙනුවෙන් අපි රුපියල් 6,000ක දීමනාවක් ලබා දුන්නා. මෙම වැඩසටහන් ක්‍රියාත්මක වන්නේ සුවපත් වූ ආර්ථිකයක් තුළ නොවෙයි. ඒ වගේම වකුගඩු රෝගීන්ට ලබා දෙන දීමනාව රුපියල් 7,500 - 10,000 දක්වා ඉහළ දැමුවා, වැඩිහිටි දීමනාව රුපියල් 3,000 – 5,000 දක්වා ඉහළ දැමුවා. ඒ වගේම අපි ආරම්භයේදීම විශ්‍රාමිකයන්ගේ වැටුප රුපියල් 3,000කින් වැඩි කළා. අපි ජනතාව අත්හැර නැහැ.
මහපොළ ශිෂ්‍යාධාරය රුපියල් 5,000 – 7,500 දක්වා වැඩි කිරීමට අප කටයුතු කළා. ශිෂ්‍යාධාර රුපියල් 4,000 – 6,500 දක්වා ඉහළ දැමුවා. එපමණක් නොවෙයි දෙමාපියන් අහිමි වීදි දරුවන්ට රුපියල් 5,000ක දීමනාවක් ලබා දීමටත්, රුපියල් 3,000ක් ඔවුන්ගේ ස්ථාවර ගිණුමක තැන්පත් කිරීමටත් අපි තීරණය කළා. කඳවුරුවල සිටින දරුවෙක්, විශේෂයෙන් ගැහුණු දරුවෙක් විවාහයට පත් වන විට ඔවුන්ට නිවසක් ඉදිකර ගැනීමට ලක්ෂ 10ක් ලබා දීමට අපි කටයුතු කරනවා. අපි එම දරුවන් බලා ගන්නවා. ඒ වගේම පෙර පාසල් දරුවන්ගේ ආහාර වේල වෙනුවෙන් ලබා දුන් රුපියල් 60, රුපියල් 100 දක්වා ඉහළ දමා තිබෙනවා.
රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි වීම පිළිබඳ කාරණයේදී අපි කරුණු දෙකක් පිළිබඳ අවධානය යොමු කරනු ලැබුවා. අපේ රටේ වෘත්තීමය හැකියාවක් ඇති රාජ්‍ය නිලධාරින් රට අතහැර යාමේ ප්‍රවණතාවක් පැවතුණා. ඒ වගේම යම් වෘත්තීමය හැකියාවක් සහ ධාරිතාවක් තිබෙන අයෙක් රාජ්‍ය සේවයට ආකර්ෂණය කර ගැනීමට නොහැකි තත්ත්වයක් තිබුණා. ඒ අනුව අසීරුතා මධ්‍යයේ වුවද රාජ්‍ය සේවකයන්ට දැනෙන වැටුප් වැඩිවීමක් සිදු කළ යුතු බව අපි තීරණය කළා.
එය අපේක්ෂා නොකළ මූලික වැටුප් වැඩිවී මක් බව කිවයුතුයි. විද්‍යාත්මක ක්‍රමයකට අනුව අපි එම මූලික වැටුප් වැඩි කිරීම සිදු කිරීමට තීරණය කළා. ඒ වගේම අනෙකුත් දීමනා වැඩි කිරීමටද කටයුතු කළා. කිසිදා සංවාදයට ලක් නොවූ වැටුප් වර්ධකවල දැනෙන වැඩිවීමක් සිදු කිරීමට අපි කටයුතු කළා. එහෙත් මූලධර්ම සහ අභිමානය ආරක්ෂා කරමින් ඉදිරියේදී එහි සංශෝධනය සිදු කිරීමට අවශ්‍ය බව යෝජනා කරන්නේ නම් ඒ සඳහාත් අපි කටයුතු කරන බව ප්‍රකාශ කළ යුතුයි. මේ සියල්ල තුළින් අපි අපේක්ෂා කරන්නේ රට තුළ ඉතා හොද රාජ්‍ය සේවයක් ඇති කිරීමයි.
එහෙත් අද ප්‍රතිපක්ෂ දේශපාලන අධිකාරිය කරමින් සිටින්නේ කුමක්ද? අද මම ජනාධිපති වුණත්, මට මන්ත්‍රී විශ්‍රාම වැටුප හිමි වෙනවා. මම එය දැනගෙන සිටියේ නැහැ. එහෙත් එම කාරණය පිළිබඳ දැන ගත් විගස මන්ත්‍රී විශ්‍රාම වැටුප නතර කරන ලෙස මම පාර්ලිමේන්තුවට ලිපියක් භාර දුන්නා. මන්ත්‍රීවරයා ජනාධිපති වීමෙන් පසු ඔහුට මන්ත්‍රීවරයාට හිමි විශ්‍රාම වැටුප ලැබෙනවා. ජනාධිපති වැටුපත් ලැබෙනවා. එදා සිදු වුණේ තමන් කැමති විදිහට ලොකු හැඳිවලින් බෙදා ගැනීමයි. ඒ වගේම මන්ත්‍රීවරයා ඇමති වෙනකොට ඇමති වැටුපත්, මන්ත්‍රී වැටුපත් දෙකම හිමි වෙනවා. නමුත් අපි තීරණය කර තිබෙනවා අපේ ඇමතිවරු සහ නියෝජ්‍ය අමාත්‍යවරු ලබා ගන්නේ මන්ත්‍රී වැටුප පමණයි කියලා. මේ රට වෙනස් කිරීමට නම් දේශපාලන ක්‍රමය වෙනස් විය යුතුයි.
ඒ වගේම මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කිරීමේ පනත අපි ඉතා ඉක්මනින් පාර්ලිමේන්තුවට ගේනවා. එසේම ජනාධිපතිවරයාගේ වරප්‍රසාද පනත සංශෝධනය කර එම පනතත් ඉතා ඉක්මනින් පාර්ලිමේන්තුවට ගේනවා. පාර්ලිමේන්තුවේ සියලුදෙනාට එකට එක්වී අත එසවිය හැකි පනත් කිහිපයක් ඉදිරියේදී පාර්ලිමේන්තුවට ගෙන එනු ලබනවා. ඒ වගේම මන්ත්‍රීවරුන්ට වාහන බලපත්‍ර ලබා නෙදෙන අතර තම ධුර කාලය තුළ මන්ත්‍රීවරයෙකුට වාහනයක් ලැබිය යුතුයි යන ප්‍රතිපත්තියේ අප සිටිනවා.
එසේම අප ඇමතිවරු සංඛ්‍යාව 21 දක්වා අඩු කර තිබෙන අතර නියෝජ්‍ය අමාත්‍යවරු ඊට සරිලන ලෙස පත් කර තිබෙනවා. අමාත්‍යවරුන්ට නිවාස ලබා දෙන්නේ නැහැ. රට තුළ දේශපාලන ස්ථාවරත්වයක් නිර්මාණය කිරීමට අපට අවශ්‍ය වන අතර මන්ත්‍රීවරු සහ දේශපාලන අධිකාරිය මේ රට ගොඩනැගීම සඳහා යම් කැප කිරීමක් සිදු කරමින් ආදර්ශය සපයන විට රාජ්‍ය සේවකයන්ද ඒ සඳහා සුදානම් විය යුතුයි. එසේ නොමැතිව අභිමානය වැනි සරල කරුණුවල පැටලී ප්‍රශ්න නොකළ යුතු බව මම ප්‍රකාශ කිරීමට කැමතියි.
රැකියා විරිහිත උපාධිධාරින් පිළිබඳ අපි විශේෂ අවධානය යොමු කර තිබෙන අතර එම රැකියා ලබා දීම නිසි ප්‍රතිපත්තියකට අනුව සිදු කරනවා. දැනට රාජ්‍ය සේවයේ පුරප්පාඩු 15,300ක් හදුනාගෙන තිබෙන අතර එම පුරප්පාඩු පිරවීමට අදාල කමිටුව අපට අවසර ලබා දී තිබෙනවා. ඒ අනුව රජයේ පුරප්පාඩු 30,000ක් ඉදිරියේදී පිරවීමට කටයුතු කරන අතර ඒ ඒ තනතුරුවලට බඳවා ගැනීම් නිසි පටිපාටිය අනුව සිදු කරනවා. එසේ නොමැතිව රාජ්‍ය සේවයට අනවශ්‍ය ලෙස විශාල පිරිස් බඳවා ගැනීම් නොකළ යුතුයි. ඒ සඳහා උඩගෙඩි නෙදෙන ලෙසද පාර්ලිමේන්තුවේ සිටින සියලුදෙනාගෙන් මම ඉල්ලා සිටිනවා. අපි රාජ්‍ය සේවය පිළිගන්නා රාජ්‍යයක්. එහෙත් අපේ රටේ රාජ්‍ය සේවය සඳහා දරන වැය බර ඉතා ඉහළයි. ඒ නිසා අපි ඒ සඳහා සැලසුම් සහගතව කටයුතු කරනවා.
අපේ ආණ්ඩුව පත් වුණේ පැවති ක්‍රමවේදය ඒ අයුරින්ම ඉදිරියට ගෙන යාමට නම් එය ඉතා පහසු කාර්යයක්. එහෙත් මේ රටේ ජනතාව අපව බලයට පත් කර ගත්තේ පවතින ක්‍රමවේදය රටටත් ජනතාවටත් සුබවාදී ලෙස පරිවර්තනයකට ලක් කිරීමටයි.
මෙම කාර්යයේදී මෙරට ව්‍යාපාරික ප්‍රජාවට විශාල කාර්යභාරයක් පැවරෙනවා. සියලු දෙනාම නිසි පරිදි බදු ගෙවිය යුතු අතර බදු පැහැර හරින අයට එරෙහිව නීතිය ශක්තිමත්ව ක්‍රියාත්මක කිරීමට අපි කටයුතු කරනවා. ඒ වගේම ඔබ ගෙවන බදුවල සෑම රුපියලක්ම, දේව කාර්යයක් ලෙස අප සුරකිනවා. එම බදු ගෙවන අයට විශේෂ වරප්‍රසාද ලබා දීමටද අපේක්ෂා කරනවා.
බදු ගෙවන්නන් තුළ රට පිළිබඳ විශ්වාසයක් ඇති කළ යුතුයි. අපි රට තුළ නව දේශපාලන සංස්කෘතියක් ඇති කරන්නේ ඒ සඳහායි. ජනතාව ගෙවන බදු ඉතා හොදින් ආරක්ෂා කරන සහ රැක බලා ගන්නා පාලනයක් තිබෙන බවට වන විශ්වාසය ඇති කළ විට ඔවුන් නිසි ලෙස බදු ගෙවනවා. බදු ගෙවන අයෙකුට “මම බදු ගෙවන පුරවැසියෙක්” කියා ආඩම්බරයෙන් කිව හැකි පරිසරයක් රට තුළ නිර්මාණය කළ යුතුයි. එද ජනතාව බදු ගෙවන්න අධෛර්යමත් වුයේ එම ගෙවන බදුවලට වෙන දේ මහ දවල් සියැසින් දුටු නිසයි. එම තත්ත්වය වෙනස් කර බදු ගෙවන්න හිතෙන රාජ්‍යයක් බවට අපි මේ රාජ්‍ය පත් කරනවා.
ඒ වගේම අපේ වෘත්තීයවේදීන් රට වෙනුවෙන් වැඩ කළ යුතුයි. කොතැනක හෝ රාජ්‍යයෙන් ඉටු විය යුතු කාර්යභාරය වෙනුවෙන් ගෙවීමක් කිරීමට සිදු නොවන තත්ත්වයක් රට තුළ ඇති කළ යුතුයි. අල්ලස රාජ්‍ය සේවය අකර්මණ්‍ය කරන අතර ආර්ථික වර්ධනයට බාධා කරනවා. අල්ලස ආර්ථික අපරාධයක් වන අතර ඒ පිළිබඳ අපි ඉදිරියේදී දැඩි තීන්දු ගන්නවා. මේ රාජ්‍ය යළි ප්‍රතිෂ්ඨාපනය කළ යුතුයි. රාජ්‍ය යාන්ත්‍රණය පුරා පැතිරි තිබෙන අල්ලසේ සංස්කෘතිය අවසන් කළ යුතුයි. එය සිදු කිරීමට නම් පළමුවෙන්ම දේශපාලන අධිකාරිය එම ආදර්ශය සැපයිය යුතුයි.
ඒ වගේම අපි රට තුළ ආයෝජනයට පහසු පරිසරයක් නිර්මාණය කරන අතර ආයෝජන ආරක්ෂණ පනතක්ද ගෙන එනවා. ඒ වගේම ක්‍රමෝපායික සංවර්ධන පනත වෙනස් කර හිතවත්කම් මත නොව ජාතික අවශ්‍යතාව මත නව බදු සහන ලබා දෙන පනතක්ද ඉතා ඉක්මනින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරනවා.
එසේම අධ්‍යාපන ක්ෂේත්‍රයේ විශාල ප්‍රතිසංස්කරණයක් අපේක්ෂා කරන අතර පාසල් පද්ධතිය විධිමත් කිරීම වෙනුවෙන් ව්‍යාපෘතියක් ආරම්භ කරනවා. වෘත්තීය පුහුණුව සහ අධ්‍යාපන මාවත් පුළුල් කරමින් රටේ දරුවන්ගේ අනාගතය දීප්තිමත් කළ හැකි පරිදි අධ්‍යාපන පරිවර්තනයන් සිදු කරනවා.
සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් ආරක්ෂා කර ගැනීමට අවශ්‍ය සහන ලබා දෙන අතර කෘෂිකර්මාන්තයේද විශාල පරිවර්තනයක් සිදු කිරීමට සැලසුම් කර තිබෙනවා. වරාය ආශ්‍රිත නාවුක කේන්ද්‍රීය ආර්ථිකය අපි විශාල ලෙස සැලසුම් කර තිබෙන අතර ආසියානු සංවර්ධන බැංකුවේ සහාය ඇතිව කෙරවළපිටිය බහාලුම් මධ්‍යස්ථානය ඉදිකිරීමේ කටයුතු කඩිනමින් ක්‍රියාත්මක කිරීමටද අපේක්ෂා කරනවා. මේ අයුරින් අපි රටේ ආර්ථිකය ස්ථාවර කර ගනිමින් රට ඉදිරි ඉලක්ක කරා මෙහෙයවමින් තිබෙනවා. අප සියලුදෙනා එක්ව මෙම ගමන ශක්තිමත් කර ගනිමින් ඉදිරියට යා යුතුයි.