ශ්‍රී ලාංකික දිනය කියන එක නම් කර එයට මිලියන 300ක් වෙන් කරලා තිබෙන බවත් ඔබ ජාතික වශයෙන් සමරන බොහෝ දින යම්කිසි කණ්ඩායමකට පමණක් සීමා වන නිසා පළවෙනි වතාවට සියලු දෙනාටම කාවවත් අතහරින් නැතුව පුරවැසියන් හැටියට සහභාගී වෙන්න පුළුවන් "Sri Lankan Day" කියලා එකක් මෙවර අයවැයෙන් යෝජනා කර තිබෙන බවත් අග්‍රමාත්‍ය ආචාර්ය හරිනී අමරසූරිය පැවසුවාය.
පාර්ලිමේන්තු අයවැය විවාදයට ඊයේ එක් වෙමින් අගමැතිනිය මේ බව පෙන්වා දුන්නාය.
වැඩිදුරටත් අදහස් දැක් වූ අගමැතිනිය ප්‍රකාශ කළේ,
"පළමු වතාවට යෝජනා කරනවා ශ්‍රී ලාංකික සියලු දෙනාටම තමන්ගේ විවිධත්ව තියාගෙන ඒ විවිධත්වය තුළින් මේ රට ලස්සන වෙන්නේ කොහොමද කියන එක, මේ රට ගැන ආඩම්බර වෙන්නේ කොහොමද කියන එක ගැන තහවුරු කරන්න අවස්ථාවක් සලසා ගැනීමට.
මේ අයවැයේ හැම පිටුවකම හැම වචනයකම පෙන්නුම් කරනවා කොහොමද අපි සාමූහිකත්වය, සාධාරණත්වය, ප්‍රජාතන්ත්‍රවාදය ඇති කරන්නේ කියලා. අපි ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන ඔස්සේත් ජනතාවගේ සහයෝගය වර්ධනය කරන්න , පරිවර්තනීය වෙනස සිද්ධ කරන්න ඔවුන්වත් මැදිහත් කරගන්න පියවර අරන් තියෙනවා. එය නොවෙයිද ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ. මැතිවරණයකට ගිහිල්ලා ඡන්දය ප්‍රකාශ කරන එක විතරක් නෙමෙයි ප්‍රජාතන්ත්‍රවාදය. එතනට සීමා වෙච්ච ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදය අපි පුළුල් කරලා තියෙනවා. "