Monday, February 24, 2025
Follow Us
අගමැතිනියගෙන් ආරාධනයක්

ඉතිහාසයේ වැඩිම මන්ත්‍රීවරියන් පිරිසක් පාර්ලිමේන්තු යැවූ පක්ෂයක සාමාජිකාවන් ලෙස ඉදිරියේදී මෙම ජයග්‍රහණයේ කොටස්කරුවන් පමණක් නොව නායිකාවන් ලෙස ඉදිරියට එන ලෙස, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

ජාතික ජන බලවේගයේ අනුරාධපුර දිස්ත්‍රික් කාන්තා ක්‍රියාකාරිනියන්ගේ සුහද හමුව අමතමින් අග්‍රාමාත්‍යවරිය මේ බව සදහන් කළාය.

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් පෙබරවාරි 23 වැනි දා අනුරාධපුර යොවුන් නිකෙතන ශාලාවේ දී මෙම හමුව පැවැත්විණි.

"පසුගිය වසරේ ලබාගත් ඓතිහාසික මැතිවරණ ජයග්‍රහණයට නායකත්වය දුන්නේත්, මේ රටේ තීරණාත්මක දේශපාලන පරිවර්තනයක් සිදුකිරීමට එක මිටකට එකතුවෙලා මැදිහත් වුණෙත් ඔබ. පසුගිය වසරෙ අපි හමුවුණ හැම මොහොතකම කතාවුණේ මේ ඓතිහාසික ජයග්‍රහණයේ කොටස්කරුවන් බවට පත්වීමට. ඉතිහාසයේ වැඩිම මන්ත්‍රීවරියන් පිරිසක් පාර්ලිමේන්තු යැවූ පක්ෂයක සාමාජිකාවන් ලෙස ඉදිරියේදීත් මෙම ජයග්‍රහණයේ කොටස්කරුවන් පමණක් නොවෙයි නායකත්වයටත් පත්වෙමු." යනුවෙන් අග්‍රාමාත්‍යවරිය මෙහිදී ජාතික ජන බලවේගයේ අනුරාධපුර දිස්ත්‍රික් ක්‍රියාකාරිනියන් අමතා ප්‍රකාශ කළා ය.

මෙම සුහද හමුවට ජාතික ජන බලවේගයේ අනුරාධපුර දිස්ත්‍රික් විධායක සභික, හිටපු නාගරික මන්ත්‍රිනී සීතා හේරත්, ජාතික ජන බලවේගයේ අනුරාධපුර දිස්ත්‍රික් විධායක සභික, අයිතීන් උදෙසා කාන්තාවෝ සංවිධානයේ අනුරාධපුර දිස්ත්‍රික් සංවිධායිකා නිශාන්ති වීරසේකර යන මහත්මීන් ඇතුළු ජාතික ජන බලවේගයේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ ක්‍රියාකාරී සාමාජිකාවන් රැසක් සම්බන්ධ විය.